සොරකමේ ගිය හිටපු රාජ්‍ය සේවකයා පොලිසියට කොටුවෙයි

නිවෙස් බිඳ රන් භාණ්ඩ, ලැප්ටෝප් පරිගණක සහ ජංගම දුරකතන සොරා ගත් හිටපු රාජ්‍ය සේවකයෙකු කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, මිල අධික ලැප්ටොප් පරිගණක 4ක් ජංගම දුරකතන 4ක් සහ සොරා ගෙන උණු කර ගුලි වශයෙන් තිබූ රත්‍රන් තොගයක් සමගින් කුලියාපිටිය ඇපලදෙණිය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව ය.

සැකකරු කුලියාපිටිය එළතලව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මාකඳුර රෝහලේ සේවය කරමින් සිටියදී සැකකරු සොරකම් සම්බන්ධව නීතියෙන් දඬුවම් ලබා සේවය පවා අහිමිවූවෙකි.

එමෙන් ම, කුලියාපිටිය ඇතුළු අධිකරණ කිහිපයක ම සැකකරු සම්බන්ධව විභාග වෙමින් පවතින නඩු කටයුතු පවතින බව ද පොලිසිය පැවසීය.

කුරුණෑගල, නාරම්මල, කුලියාපිටිය හා වීරඹූගෙදර ආදී පොලිස් ස්ථානවල ඇති පැමිණිලි හා සැකකරු විසින් දිගින් දිගට ම ලැප්ටොප් පරිගණක ආදිය අලෙවි කරන බවට ලැබුණු තොරතුරක් මත සැකකටයුතු භාණ්ඩ සමගින් සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී තමන් සොරාගත් භාණ්ඩ පිළිබඳව අනාවරණය කර ගෙන ඇත.

සැකකරු හා අදාළ භාණ්ඩ තොගය කුලියාපිටිය මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *