වත්මන් පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා විසින් මේ මස 26 වනදා සිට විශ්‍රාම යාමට අදාල ලිපිය මේ වන විට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමුකර ඇත.ඒ අතර ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ ඔහුට වසරක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එකඟත්වය පළකර ඇති බවයි.
කෙසේවෙතත්, ව්‍යවස්ථාදායක සභාව විසින් පත්කරනු ලබන රජයේ නිලධාරීන්ට විශ්‍රාම වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් පසු යළි සේවා දිගුවක් සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාවක් නොමැති බව නීතිවේදීන් පවසති.
ඒ අනුව මේ මස 26 වනදා සිට විශ්‍රාම යාමට නියමිතව පොලිස්පති සී ඩී වික්‍රමරත්නට ද එම අවස්ථාව නොලැබෙන බවට ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා අදහස් දක්වා ඇත.
මීලඟ පොලිස්පතිවරයා කවුරුන්ද යන්න සම්බන්දයෙන් බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්ව ඇත්තේ එම තනතුරට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනෙකු අතර පවතින තරඟය හේතුවෙන් බවත් මෙම තරඟකරුවන් තමන්ට හිතවත් මාධ්‍ය හරහා එකිනෙකාට එරෙහිව අවලාද කිරීම් හා අපහස කිරීම් සිදුකිරීම් දක්වා තත්ත්වය දුරදිග ගොස් ඇති බවත් ඔහු තව දුරටත් පවසා ඇත.


