කොටි තහනම ඉවත් කරන්න…ගෝලීය දෙමළ සංසදයේ නායකගෙන් ඉල්ලීමක්

එල්.ටී.ටී.ඊ තහනම ඉවත් කරන්නැයි ගෝලීය දෙමළ සංසදයේ නායක විශ්වකුමාරන් රුද්‍රකුමාරන් ඉන්දියාවෙන් යළි ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. ඒ එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමිනි. ඔහු සිය ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ මේ වනවිට එල්.ටී.ටී.ඊ සංවිධානය තවදුරටත් ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති බව යි. මේ හේතුවෙන් තහනම ඉවත් කිරීම ඉන්දියාවට තර්ජනයක් නොවන බවයි රුද්‍ර කුමාරන් පෙන්වා දී ඇත්තේ.

එමෙන්ම, ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තියට සුබවාදී තත්ත්වයක් එමගින් උදාවනු ඇති බවට ද ඔහු අවධාරණය කර ඇත. මේ අතර, ඉන්දියාවේ – ගුජරාට් වෙරළ තීරයේ තිබී හමුවූ හෙරොයින් මත්කුඩු තොගය එල්.ටී.ටී.ඊ සංවිධානයට අරමුදල් සැපයීම සඳහා අලෙවි කිරීමට සූදානමින් තිබූ බවට සැක පළ කරන බවට ඉන්දීය මධ්‍යම පරීක්ෂණ කාර්යාංශය ප්‍රකාශ කරයි. මේ පිළිබඳව වන නිවේදනය අදාළ කාර්යාංශය විසින් තමිල්නාඩු පොලීසිය වෙත යොමු කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ගුජරාට් වෙරළේ තිබී මෙලෙස අත්අඩංගුවට ගත් හෙරොයින් මත්කුඩු තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 430කට ආසන්න වන අතර මීට පෙර 2021 වසරේදී ද ඉන්දීය රුපියල් කෝටි 3000කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් තමිල්නාඩු ප්‍රාන්තයේ දී අත්අඩංගුවට ගත් අතර එහිදී අනාවරණ වූයේ ඩයස් පෝරාවට සම්බන්ධ පුද්ගලයෙකු එම මත්කුඩු ජාවාරම පිටුපස සිටින බවටයි.

මේ අතර, තමිල්නාඩු සරණාගත කඳවුරක රැදි සිටි ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු මෙරටට නීතිවිරෝධීව පැමිණීමට උත්සාහ කිරීමේදී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇත. බෝට්ටුවක් මාර්ගයෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම්ව ලැගුම්හලක රැදී සිටියදී ලද තොරතුරකට අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි මාධ්‍ය වාර්තා කළේ. දිවයිනට පැමිණීමට සූදානම් වූ බෝට්ටුවට ඉන්දීය රුපියල් ලක්ෂ 17ක් මොවුන් ලබාදීමට පොරොන්දු වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *