මිනිසා කෙතරම් ලෙඩ රෝග නොවැලඳී ජීවත්වන්නට උත්සාහ කළත් විවිධ රෝගවලට ඔවුන් ගොදුරු වේ. ඒ අතර බෝවන රෝග සහ බෝ නොවන රෝග විශේෂයි. මිනිසා පරිභෝජනය කරන ආහාර රටාවන්හි ඇති විෂමතාවන් නිසා බහුලව වැලඳෙන්නේ බෝ නොවන රෝගය. එසේ හටගන්නා ප්‍රධාන බෝ නොවන රෝගයක් වන්නේ දියවැඩියාවයි. ශක්තිමත් මිනිසකු අසුරු සැණින් දුර්වල කරන්නට හැකියාව ඇති රෝග ලැයිස්තුවේ ඉහළම ස්ථානය හොබවන්නේ දියවැඩියා රෝගයයි. දියවැඩියාව හටගන්නට බලපාන මූලික සාධක කිහිපයකි. එනම් දියවැඩියාවෙන් පීඩා විඳි පවුල් ඉතිහාසයක් ඇත්නම් ඔබටද එය වැලඳීමේ ප්‍රවණතාවක් තිබේ. එසේම ශාරීරික ක්‍රියාකාරකම් නොමැති උදාසීන ජීවන රටාවකින් යුක්ත පුද්ගලයන්ටද මෙය වැලඳීමේ වැඩි අවදානමක් තිබේ. එමෙන්ම ආහාර පාලනයක් නොමැති වීම, ක්‍ෂණික ආහාර පරිභෝජනය කිරීම, තරබාරුව යන සාධකද දියවැඩියාව වැලඳීමට හේතුවේ.
දියවැඩියාව රෝගය ඔබට වැලඳී ඇතැයි හඟවන ශාරීරික රෝග ලක්ෂණ කිහිපයක් පිළිබඳව තමයි අද ඒදඨඥතඵ වෙතින් ඔබ හමුවට ගෙන එන්නේ.
ආහාර දිරවීමේ ගැටලු
ඔබට දියවැඩියාව වැලඳී ඇතැයි සැලකිය හැකි මූලික රෝග ලක්ෂණයක් ලෙස ආහාර දිරවීමේ ගැටලු ඇතිවීම පෙන්වාදිය හැකිය. ඔබ ගන්නා ආහාර නිසි පරිදි ජීර්ණ ක්‍රියාවලියකට ලක් නොවන්නේ ඔබේ රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණය වැඩිවීම නිසා විය හැකිය. එබැවින් ඔබට නිසි පරිදි ආහාර ජීර්ණය නොවන්නේ නම් නිතර ඔක්කාරය සහ වමනය යන රෝග ලක්ෂණ ඇත්නම් රුධිර පරීක්ෂණයක් කරගැනීම නුවණට හුරුය.
නිතර මුත්‍රා කිරීමේ
අවශ්‍යතා ඇතිවීම
ඔබේ සුපුරුදු දෛනික සනීපාරක්ෂක කටයුතුවලින් මිදී නිරන්තරයෙන් මුත්‍රා කිරීමට යාමට අවශ්‍ය වන්නේ නම් විශේෂයෙන් රාත්‍රි කාලයේ වරින් වර වැසිකිළි යෑමට සිදුවන්නේ නම් ඔබට දියවැඩියා රෝගයේ මූලික ලක්ෂණ හටගෙන ඇතැයි සැලකිය හැකිය.
නොපැහැදිලි පෙනීම
මීට පෙර ඇස් කණ්ණාඩි භාවිත නොකළද මෑතක සිට ඔබට පෙනීමේ යම් වෙනසක් ඇත්නම්, දුර පෙනීමේ අඩුවක් හෝ පෙනීම බොඳවී ඇත්නම් ඔබට දියවැඩියාවේ මූලික රෝග ලක්ෂණ පහළ වී ඇතැයි සැලකිය හැකිය. එබැවින් ඔබේ පෙනීමේ අඩුවක් ඇත්නම් වහාම රුධිරගත පරීක්ෂණයක් සිදුකර ගැනීම උචිතය.
මුඛය වියළීම
ඔබට නිරන්තරයෙන් දැඩි පිපාසයක් දැනෙනවා නම් වතුර පානය කළ සැණින්ම ඔබේ මුඛය වියළි බවකට පත්වන්නේ නම් එයද දියවැඩියාවේ මූලික රෝග ලක්ෂණයකි.
චර්ම ගැටලු හට ගැනීම
ඔබේ සම වියළීමට ලක්වීම හා නිරන්තර කැසීමක් ඇත්නම් ඔබේ ශරීරයේ දියවැඩියා ලක්ෂණ පැවැතිය හැකිය. යම් හෙයකින් ඔබ නොදැනුවත්ව දියවැඩියා රෝගයට ගොදුරු වී ඇත්නම් ඔබ බැක්ටීරියා සහ දිලීර ආසාදනවලට ලක්විය හැකිය. එබැවින් ඔබේ සම අනවශ්‍ය පරිදි වියළීමට ලක්ව ඇත්නම් හෝ කැසීම් ඇත්නම් ඔබ දියවැඩියා රෝගයෙන් ආරක්ෂා විය යුතුය.
ආහාර රුචිය වැඩිවීම
ඔබට කුසගින්නක් නොමැති වුවත් නිතර ආහාර රුචියක් ඇතිවන්නේ නම් එයද දියවැඩියාවේ මූලික රෝග ලක්ෂණයකි. ඔබේ රුධිරගත ග්ලූකෝස් මට්ටම ඉහළ යන විටද මෙලෙස දැඩි ආහාර රුචියක් හටගැනීම සිදුවේ. එබැවින් රුධිරගත පරීක්ෂණයක් සිදුකර ගැනීමෙන් ඔබට දියවැඩියාව වැලඳීමෙන් වැලකිය හැකිවනු ඇත.
ලිංගික බෙලහීනතාව
ලිංගික ක්‍රියාවලියේ දුර්වලතාවලට ඔබ ලක්වී ඇත්නම් කෙතරම් උත්සාහ කළත් දරුවකු පිළිසිඳ ගැනීමේ හැකියාවක් නොමැතිනම් ඔබට දියවැඩියා රෝගය වැලඳීමට ඇති ඉඩහසර වැඩිය.
දියවැඩියා රෝග ලක්ෂණ හටගැනීම වළක්වා ගැනීමට ඔබ භාවිත කළ යුතු ආහාර වර්ග කිහිපයකි. අප දෛනිකව ගන්නා ආහාරවල අඩංගු ග්ලූකෝස් ප්‍රමාණය අධික වීමෙන් මෙම දියවැඩියා රෝගයට අප ගොදුරු වේ. දියවැඩියාවෙන් අත්මිදීමට නම් ඔබ ඇතැම් ආහාර වර්ගවලින් වැළකී සිටිය යුතුය. එම ආහාර වර්ග නම් පොප්කෝන්, සුදු සහල්, සුදු පාන්, අර්තාපල්, ඉරිඟු පිටි, ග්ලූකෝස්, සැකසූ ආහාර, රතු මස්, අධික තෙල් සහිත ආහාර හා රසකැවිලි ආදිය පරිභෝජනයෙන් වැලකිය යුතුය. දියවැඩියාවෙන් වැළකීමට අවශ්‍ය නම් දෛනිකව ලබාගත යුතු ආහාර වර්ග කිහිපයකි. ඒ අතර බේරාකොලි, බිත්තර, කජු, යෝගට්, චෙරි, ඇපල්, ලූනු, කොළ, මිදි, ස්පැගටි, තක්කාලි යුෂ, කඩල, අන්නාසි යුෂ, කෙසෙල්, තැඹිලි යන ආහාර ලබාගැනීමෙන් ඔබට දියවැඩියාවෙන් වැළකීමට හැකි වනු ඇත.
මව්බිම පුවත්පතින් උපුටා ගන්නා ලදී
සැකසුම- චතුරිකා රාජපක්ෂ


