විද්‍යුත් මාධ්‍ය ආයතන, විකාශන අධිකාරී පනත් කෙටුම්පත සකස් කිරීමට අදහස් හා යෝජනා ලිඛිතව ලබා දීම සඳහා තව ත් සීමිත කාලයක් අවශ්‍ය බව ප්‍රකාශ කර තිබේ.
ඔවුන් මෙම ඉල්ලීම කර ඇත්තේ, අදාළ පනත කෙටුම්පත් කිරීමට රාජ්‍ය ප්‍රතිපත්තිමය කරුණු නීර්ණය කිරීම සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව සහ සියලු ම විද්‍යුත් නාලිකා සාමාජිකයන් අතර ජූනි 7 වන දා පාර්ලිමේන්තුවේ කාමර අංක 8හි පැවති සාකච්ඡාවේදී ය.
අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද එම අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ ප්‍රධානත්වය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා දරයි.
මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරපාල ද සිල්වා, සෞඛ්‍යය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානයක්කාර යන අමාත්‍යවරුන් කමිටු සාමාජිකයෝ වෙති.
එම අනුකාරක සභාව විසින් නිරීක්ෂණය කරන ලද ප්‍රතිපත්තිමය කරුණු ඇතුළත් නීතිමය රාමුවක් කෙටුම්පත් කර ඇති අතර එම කෙටුම්පත විද්‍යුත් මාධ්‍ය වෙත ඉදිරිපත් කර ඔවුන්ගේ අදහස් හා යෝජනා සම්බන්ධව සලකා බලා පොදු එකඟතාවයකට පැමිණ අවසාන කෙටුම්පත සකස් කළ යුතු බවට තීරණය කර තිබේ.
ඒ අනුව, එම අවසාන කෙටුම්පත සකස් කිරීමට අදාළ අදහස් යෝජනා ලබා ගැනීම සඳහා විද්‍යුත් නාලිකා සාමාජිකයන් සමග අදාළ සාකච්ඡාව පවත්වා ඇත.
එහිදී විද්‍යුත් නාලිකා සාමාජිකයන් ඉල්ලා ඇත්තේ, වැඩිදුර අධ්‍යයනය කිරීම සඳහා අදාළ කෙටුම්පතෙහි සිංහල පිටපතක් ද ලබා දෙන ලෙස ය.
එම ඉල්ලීමට අනුව සිංහල පිටපතක් ලබා දීමට, විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන අධිකාරී පනත කෙටුම්පත් කිරීමේ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව එකඟ වී ඇත.
අනතුරුව විද්‍යුත් මාධ්‍ය ආයතන නියෝජිතයින් පවසා ඇත්තේ, පනත් කෙටුම්පත පිළිබඳව වැඩිදුර සොයාබලා පුළුල් අධ්‍යයනයක් සිදුකොට, විකාශන අධිකාරී අවසන් කෙටුම්පත සකස් කිරීමට අදහස් හා යෝජනා ලිඛිතව ලබා දීම සඳහා තවත් සීමිත කාලයක් අවශ්‍ය බව ය.
නිවේදනයක් නිකුත් කරමින් ජනමාධ්‍ය අමාත්‍යංශය මේ බව පැවසීය.


