ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළ ලාංකිකයින් 41ක් ආපසු දිවයිනට…

නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සහ කිරීමේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ක්‍රිස්මස් දූපතෙහි රඳවා තබා සිටි ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු, එරටින් පිටුවහල් කර, අද (මැයි 9) උදෑසන විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාව වෙත එවා තිබේ.

ඔවුන් ඔස්ට්‍රේලියාවට අයත් ASY – 013 දරන ගුවන් යානයෙන් ඔස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතෙන් ගමන් ආරම්භ කර අද උදෑසන 9:40ට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබිණි.

මොවුන්ගෙන් වැඩි පිරිසක් යාපනය සහ වාලච්චේන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් ඔස්ට්‍රේලියාවට බහුදින ධීවර යාත්‍රා මගින් ගොස් ඇති බව අනාවරණය කර වී ඇත.

මෙම පිරිස භාර ගැනීම සදහා ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරීන් තිදෙනෙකු ද කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබිණි.

පිටුවහල් කර එවූ ශ්‍රී ලාංකිකයන් සමග එරට ආරක්ෂක නිලධාරීන් පිරිසක් ද පැමිණ තිබිණි.

කටුනායක ගුවන්තොටුපළේදී මෙම පිරිස ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහ එරට ආරක්ෂක නිලධාරීන් විසින් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දෙනු ලැබ ඇත.

ඉන් පසුව ජාතික බුද්ධි තොරතුරු අංශය මගින් ද විමර්ශන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව, මෙම පිරිස කටුනායක ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට නියමිත ය.

එහිදී ඔවුන් මෙම පිරිසෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *