“ඉදිරි දින කීපයේ දැඩි හිරු රස්නයෙන් පරිස්සම් වන්න”කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්!

ප්‍රදේශ රැසකට අධික රස්නය සහිත කාලගුණයක් පවතින බවත් කුඩා දරුවන්, මහලු පුද්ගලයන් සමේ අසාත්මික තත්ත්වයන් සහිත පුද්ගලයන්, ගර්භණී මවුවරුන් ඇතුළු සියලු දෙනාට ඉන් දැඩි බලපෑමක් එල්ල විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම තත්ත්වය ඉදිරි දින කිහිපය පුරා පැවතිය හැකි බවත් අවදානම් සහිත සියලු දෙනා දැඩි හිරු එළියට නිරාවරණය නොවිය යුතු බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, දකුණ, නැගෙනහිර, උතුරු මැද, කුරුණෑගල, වවුනියාව, කිලිනොච්චි, මුලතිව් වැනි පළාත් ගණනාවකට ම දැඩි බලපෑමක් ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

මෙම පළාත්වල මිනිස් සිරුරට දැනෙන අධික රස්නය පිළිබඳව සියලු දෙනා අවධානය ලබා දිය යුතු බව ත් අධික රස්නයට නිරාවරණය වීමෙන් සමේ රෝග ඇති විය හැකි බව ත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත.

මෙම කාල සීමාව තුළ ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, සුදු හෝ ළා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කිරීම වැනි දේ සිදු කිරීමෙන් උණුසුම් කාලගුණයෙන් ආරක්ෂා විය හැකි බව ද එහි දක්වා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *