පැවති ආණ්ඩු මේ වන විට රජයේ ආයතන අසූඅටක් විකුණා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක පවසයි.
“විකිණීම හා ණය ගැනීම තුළින් රට ගොඩගියා නම් එහි කප්එක ගන්නේ රනිල් වික්රමසිංහ” බව ද මන්ත්රීවරයා කීය.
“අපේ රටට දැන් හොයන්නේ ණය ගන්න පුළුවන් නායකයෙක් ණය ගන්න නායකයෝ ඕන ද? ඊළඟට විකිණීම. විකිණීම කියන්නෙ අලුත් දෙයක් නෙවෙයි. කර්මාන්තශාලා තියෙනව ද? මොකුත් නෑ, 1980, 83, 84 තමයි අපේ පළමුවන විකිණීම පටන් ගත්තේ. තුල්හිරිය, මත්තෙගොඩ, පූගොඩ රෙදි කර්මාන්තශාලාව, මේ ඔක්කො ම වික්කා අවුරුදු තිහක් තිස්සේ. මේ වෙනකොට රජයේ ආයතන අසූඅටක් විකුණලා. දැන් හෙනේ මොකක්ද මේ අයට? තෙල් සංස්ථාව විකිණීම. ණය ගැනීම උත්තරය නම් ඒක රනිල්ට ඒ කාලේ ම රට හදන්න තිබුණා. හම්බන්තොට වරාය විකුණලා ඩොලර් බිලියනයක් ගත්තා. කෝ ඒ සල්ලි. රට හැදුව ද? අපේ රට ගොඩ යනව නම් දැන් ගොඩ ගිහින් තියෙන්න ඕනෑ.
විකිණීමවත් ණය ගැනීමවත් අපේ රට ගොඩ ගැනීමේ පාර නොවෙයි. ඒ අස්සෙ හොරකම තියෙනවා. හිඟුරාන සීනි කර්මාන්තයේ හොරකම් තියෙනවා. හිඟුරාන සීනි කම්හල විකුණනකොට අක්කර 6000ක උක් වගාවක් අක්කර 600ක පැළ තවානක් තිබ්බා. හැබැයි මේක විකුණලා දැම්මෙ ගබඩාවේ තිබුණු සීනිවල වටිනාකමටත් අඩු මුදලකට. සෙවණගල රනිල් කාට ද වික්කේ? දයා ගමගේට. පුත්තලම සිමෙන්ති කම්හල වික්කා. කෝ ඒ සල්ලි? පුත්තලම සිමෙන්ති කම්හල පාර්ලිමේන්තුවේ විකිණීම විවාදයටත් ගත්තා. එදා ටෙලිකොම් එකේ කොටස් ගාණක් වික්කා. ටෙලිකොම් ගනුදෙනුව ගැනත් පාර්ලිමේන්තු විවාද තිබ්බා. ඊට පස්සේ එයාර් ලංකා වික්කා. මේක ප්රසිද්ධ ගනුදෙනුවක්. 1998 / 2000 පත්තර අවුස්සලා බලන්න මේ වංචා කොච්චර බරපතළද කියලා.”
මන්ත්රි වරයා තව දුරටත් ප්රකාශ කලේය.


