එක්ස්ප්‍රස් පර්ල් නඩුවට සිංගප්පූරු යන්න ඕනද?

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනිබත් වීම පිළිබඳව සිංගප්පූරුවේදී නඩු පැවරීමට රජය තීරණය කිරීම පිළිබඳව පරිසර යුක්ති කේන්ද්‍රය කනස්සල්ල පළ කර සිටියි.

මේ වන විට සිංගප්පූරුවේදී නඩු පැවරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය පළ කර ඇති බව ත්, ඒ සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවා විරෝධය පළ කර ඇති පසුබිමක විදේශීය උපදේශකයන්ගේ උපදෙස් මත රජය ගත් එම තීරණය පිළිබඳව යළි සලකා බැලිය යුතු යැයි ද පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ ප්‍රකාශ කළේ ය.

කොළඹදී ඊයේ (මාර්තු 4) පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටි දාබරේ මහතා, එවැනි නඩුවකදී මෙරට සිටින සාක්ෂිකරුවන් හා සාක්ෂි සියල්ල එහි ගෙන යාමට කටයුතු කළ යුතු දැයි විමසා සිටියේ ය.

එම නෞකාව ගිනිබත් වූ 2021 වර්ෂය වනවිටත් ශ්‍රී ලංකාවට එවැනි යාන්ත්‍රණයකට මුහුණ දීමේ නෛතික යාන්ත්‍රණයක් නොතිබූ බව ත්, එම අනතුර සිදුව වසර දෙකක් ගත වී ඇතත් එවැනි නෛතික ක්‍රමවේදයක් මේ වන තුරු ත් සකස් වී නොමැති බවත් පෙන්වා දුන් පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපතිවරයා නාවික ගමන් මාර්ගයක් ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට එවැනි නීති පද්ධතියක් අත්‍යවශ්‍ය බව ද කීය.

එක්ස්ප්‍රස් පර්ල් ගින්න වැනි නාවික අනතුරක් පිළිබඳව ශ්‍රී ලංකාවේ නීතිය අනුව වන්දි ඉල්ලා නඩු පැවැරීමට ඉඩකඩ ඇත්තේ, වසර දෙකක් පමණක් බව ත් එම කාල සීමාව මැයි මස 19 වන දා එනම් තවත් දින 44කින් අවසන් වන බවත් පෙන්වා දුන් ඔහු පරිසර යුක්ති කේන්ද්‍රය නඩු පවරා මෙම සිද්ධිය නොසලකා හල නිලධාරීන් සියලු දෙනාට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පවරන ලෙස ඉල්ලා සිටින බව ද කීය.

එමෙන් ම, එක්ස්ප්‍රස් පර්ල් ගින්න ගැන සෙවීමට ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම කියා සිටියේ ය.

එක්ස්ප්‍රස් ෆීඩර්ස් නමැති සිංගප්පූරු සමාගමට අයත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කටාර් රාජ්‍යයෙන් පිටත් වෙද්දී එහි එක් කන්ටේනරයක නයිට්‍රේට් කාන්දුවක් තිබූ බව දැන සිට ඇති බව ත්, එය ඉන්දියාවට පැමිණ උපකාර ඉල්ලා ඇතත් එරටින් එය ප්‍රතික්ෂේප වීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී 2021 වසරේ මැයි 21 දින පුපුරා ගිය බව ත් මේ වන විට එය ලෝකයේ විශාලතම රසායනික නෞකා අනතුර ලෙස වාර්තා වන බව ත් සභාපතිවරයා තවදුරට ත් සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *