“ප්‍රතිත්‍රස්ත පනතට ඡන්දය දෙන්නේ රටට හා ජනතාවට ආරරය නොකරන අය” කාදිනල් හිමි කියයි

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතට පක්ෂව යමෙක් ඡන්දය භාවිත කරන්නේ නම් ඔවුන් මේ රටට හා ජනතාවට ආදරය නොකරන අය බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

මේ පනත ජන පීඩක වහල් බව හා ඒකාධිපති වියරුව රට තුළ ප්‍රචලිත කරන්නක් බව ද උන්වහන්සේ චෝදනා කළහ.

අගරදගුරු නිල නිවසේ ඊයේ (අප්‍රේල් 4) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව කීහ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට එයටත් වඩා දරුණු ජන පීඩක පනතක් ඉදිරිපත් කර මෙරට පුරවැසියන් පමණක් නොව ජාත්‍යන්තරය ද මුළා කරන්නට උත්සාහ දරන බවට කාදිනල් හිමියෝ චෝදනා කළහ.

මේ තුළින් ජනතා පරමාධිපත්‍යයට හා පුරවැසියන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම්වලට ඉතා හානිකර තර්ජන එල්ල වන බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.

රටේ යුක්තිය හා නීතියේ ස්වාධීනත්වයට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයටද මේ හරහා මරු පහරක් එල්ල වන බව කාදිනල් හිමියෝ කීහ.

මේ පනතින් විරෝධතා හා භාෂණයේ නිදහස දැඩි ලෙස පාලනය කිරීමට උත්සාහ දරා ඇතැයි ද අගරදගුරු හිමියෝ පවසති.

රජයට එල්ල වන සාධාරණ විවේචන හා රජයට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදීව නැඟෙන සෑම හඬක්ම මෙල්ල කිරීමට පාලක පක්ෂය මේ පනතින් ඉඩකඩ සලසා ඇතැයි ද උන් වහන්සේ තවදුරටත් කීහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *