“වකුගඩු රෝගයෙන්, අඩු වයස් විවාහවලින්, ළමා මන්දපෝෂණයෙන්, කළු චිත්‍රයක් බවට පත්ව ඇති අපේ දිස්ත්‍රික්කය සුදු චිත්‍රයක් බවට පත් කළ යුතුයි” – පොළොන්නරු දිස්ත්‍රික් ලේකම්

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මේ මොහොත වනවිට උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් නවසියයකට ආසන්න සංඛ්‍යාවක් සිටින බව පොළොන්නරු දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි ප්‍රකාශ කළේ ය.

දිළිඳුතම රේඛාවෙන් පහළ මට්ටමේ ජීවත්වන පවුල් සංඛ්‍යාව ඉතා වැඩි බවත් තුන්වේල වෙනුවට දෙවේලක් හෝ එක් වේලක් පමණක් ආහාර ගන්නා විශාල පිරිසක් සිටින බවත් හෙතෙම කියා සිටියේ ය.

දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව සඳහන් කළේ ඊයේ, (මාර්තු 15) සවස පොළොන්නරුව සුදු අරලිය හෝටලයේදී ශ්‍රී ලංකා ගැලවීමේ හමුදාව විසින් සංවිධානය කරන ලද වැඩසටහනක ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් පිරිස ඇමැතූ දිස්ත්‍රික් ලේකම්වරයා මෙසේ ද සඳහන් කළේ ය.

“ආහාර පාර්සල් දීලා කුසගින්න නිවන්න පුළුවන්. ඒක සාර්ථක උත්තරයක් නෙවෙයි, නමුත් තාවකාලිකව එවැනි දේත් අපි කරනවා. ඒ අයට යම්කිසි ජීවන තත්ත්වය නඟාසිටුවන්න වෘත්තීය මට්ටමෙන් යමක් කිරීමේ අවශ්‍යතාව තියෙනවා.

ශ්‍රී ලංකා ගැලවීමේ හමුදාව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සොයන්න විශාල කැප කිරීමක් කරලා තියෙනවා. ඔබ අපි කවුරුත් දන්නව අපේ දිස්ත්‍රික්කයේ ලොකු ම ප්‍රශ්නේ තමයි වකුගඩු රෝගී ප්‍රශ්නය. හඳුනා නොගත් වකුගඩු රෝගීන් සමග දහස් ගණන් ජීවිත බිල්ලට යන තත්ත්වයට ප්‍රධාන හේතුව වුණේ පිරිසුදු පානීය ජලය නොමැතිකමයි.

මෙම අවස්ථාවට සහභාගි වූ පොළොන්නරුව දිස්ත්‍රික් අතිරේක ලේකම් රුවන් රත්නායක සඳහන් කළේ, දිස්ත්‍රික්කයේ වැඩි ම වකුගඩු රෝගීන් වාර්තා වුණේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බව ත් දැනට වකුගඩු රෝගීන් වැඩිම පිරිස වාර්තා වෙන්නේ දිඹුලාගලින් බව ය.

අපි අයි.එම්.එෆ්. එක දිහා බලාගෙන ඉන්නවා වගේ ම ජනතාවත් හුරුවෙලා තියෙනවා ණය ගන්න. ගන්න ණය අපි මොක ද කරන්නේ? පරිභෝජනය කරනවා පමණයි. ඒවායෙන් ජීවනෝපාය සංවර්ධනය කිරීමට යොදවන්නේ නෑ. අපි කෘෂිකර්ම ප්‍රදේශයක්. අපට නැත්තේ ප්‍රාග්ධනය පමණයි.

දරුවෝ මත්ද්‍රව්‍යට ගොදුරු වෙලා. අඩු වයස් විවාහයන් සහ අඩු වයසින් ගැබ් ගැනීම් සිදුවන්නේ වැඩියෙන් ම අපේ දිස්ත්‍රික්කයේ. මේක දිස්ත්‍රික් කමිටුවලත් කතා කරන ප්‍රශ්නයක්. දරුවන්ට මත්ද්‍රව්‍ය විකුණන්නන්ට ව්‍යාපාරිකයන් කියන්න හොඳත් නෑ ඔවුන් සමාජ විරෝධීන් සමාජ නාශකයන්.

වකුගඩු රෝගයෙන්, අඩු වයස් විවාහවලින්, ළමා මන්දපෝෂණයෙන්, කළු චිත්‍රයක් බවට පත්ව ඇති අපේ දිස්ත්‍රික්කය සුදු චිත්‍රයක් බවට පත් කරන්න කටයුතු කළ යුතුයි යැයිද අතිරේක ලේකම්වරයා කීවේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *