සෞඛ්‍ය, ගුරු, විදුලිය, බැංකු, ජල, වරාය ඇතුළු වෘත්තීය සමිති 40කට අධික සංඛ්‍යාවකින් සමන්විත වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අඛණ්ඩ වැඩ වර්ජනයක් අද (මාර්තු 13දා) ආරම්භ කිරීමට නියමිත ය.
රජයේ නව බදු ප්‍රතිපත්ති, පොළී අනුපාතිකය ඉහළ දැමීම සහ මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.
වත්මන් ආණ්ඩුව “අත්තනෝමතික ලෙස” ක්‍රියාත්මක කරමින් තිබෙන ජන පීඩක සහ අසාධාරණ බදු ප්‍රතිපත්තිය ආර්ථික සමාජ හා දේශපාලන අර්බුදයක් ගොඩනැගීමේ මූලික අඩිතාලම බවට පත්ව ඇති බව ඔවුහු පැවසූහ.
ඒ අනුව, අද උදෑසන 8.00 සිට බස්නාහිර, මධ්‍යම, නැගෙනහිර සහ දකුණු යන පළාත් 4හි සියලු ම රෝහල්වල වැඩ වර්ජන ක්‍රියාමාර්ග ආරම්භ කරන බව ත් හෙට (මාර්තු 14) උදෑසන 8.00 සිට වයඹ, උතුරු මැද, උතුර, ඌව සහ සබරගමුව යන පළාත් 5හි සියලු ම රෝහල් මෙම වැඩ වර්ජන ක්‍රියාවලියට සම්බන්ධ වන බව ත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසීය.
මෙම වර්ජන කාල සීමාව තුළ හදිසි ප්‍රතිකාර සේවා කිසිසේත් සීමා කිරීමක් සිදු නොවන බව ත් හදිසි සේවා අඛණ්ඩව පවත්වා ගැනීමට අවශ්‍ය සියලු පියවර ගනු ලබන බව ත් හෙතෙම කීය.
එමෙන් ම, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකදී සාම්ප්‍රදායිකව අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ගයන්ට අනුකූලව ළමා රෝහල්, මාතෘ රෝහල්, පිළිකා රෝහල්, ත්‍රිවිධ හමුදා රෝහල් සහ වකුගඩු රෝග ප්‍රතිකාර ඒකකයන්හි මෙන් ම ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බව ද ඔහු සඳහන් කළේ ය.
මෙරට සේවය කරන 46,000ක් පමණ වන හෙද කාර්ය මණ්ඩලය මාර්තු 15 වන දා කරන වැඩ වර්ජනයට සහයෝගය ලබා දෙන්නට තීරණය කර ඇති බව සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එම්.එන්.ඩී. මැදිවත්ත පැවසීය.
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව වශයෙන් මෙම වැඩ වර්ජන ක්‍රියාමාර්ගය පැය 24න් අවසන් කරන නමුත් ආණ්ඩුවේ ප්‍රතිචාර මත එහි අවසානය තීරණය වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කළේ ය. එසේ ම මෙම වැඩ වර්ජනයට සහයෝගය දක්වමින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට 15 වන දා මධ්‍යම රාත්‍රිය දක්වා වැඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු එස්.පී. විතානගේ ‘මව්බිම’ට පැවසීය.
පැය 24 සංකේත වැඩ වර්ජනයක නිරත වීම සඳහා දුම්රිය වෘත්තීය සමිති සන්ධානයට අයත් සියලු ම වෘත්තීය සමිති එකඟතාව පළකර ඇති බව ත් ඒ අනුව දුම්රිය රියැදුරු, නියාමක, දුම්රිය පාලක ඇතුළු දුම්රිය වෘත්තීය සමිති 29ක සහයෝගය හිමි වන බවත් හෙතෙම කීය. වරාය සේවකයන් ද පැය 48ක කාලයක් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක නිරත වන බවත් මෙම කාල සීමාව තුළ විසඳුමක් ලබා දීමට කටයුතු නොකරන්නේ නම් 15 වනදා සිට වරාය සේවා සම්පූර්ණයෙන් වසා දැමීමට කටයුතු කරන බව ත් සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධන ලේකම් නිරෝෂන් ගොරකානගේ පැවසීය.
එක් දින වැඩ වර්ජනයක් ලෙස ආරම්භ කරන මෙම වැඩ වර්ජනය සඳහා විසඳුමක් ලබා නොදෙන්නේ නම් එය එක් දිනකට සීමා නොවන බව ද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පැවසීය. වෘත්තීයවේදීන්ගේ සාධාරණ ඉල්ලීම් කෙරෙහි නම්‍යශීලී නොවීමට රජය තීරණය කළහොත් අනිද්දා (මාර්තු 15) සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සඳහා යොමු වන බව ද වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව වැඩිදුරටත් පැවසීය.


