ලංකාවේ බොහෝ ප්‍රදේශවල නැවත වරක් වායු දූෂණ තත්ත්වය තරමක් ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ය.
සංවේදී පුද්ගලයන්ට සෞඛ්‍යමය වශයෙන් බලපෑමක් එල්ල විය හැකි කාලගුණික තත්ත්වයක් මේ අනුව නිර්මාණය වී තිබුණු බව ත් මුහුණු ආවරණ භාවිතය මගින් එම තත්ත්වය මග හරවා ගත හැකි බව ත් එම සංවිධානය නිවේදනය කර තිබේ.
අමෙරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව කොළඹ නගරයේ එම අගය 149ක් ලෙස සටහන්ව තිබූ අතර පසුගිය දින කිහිපයට සාපේක්ෂව කොළඹ නගරය තුළ අඳුරු පැහැ තත්ත්වයක් පැවැති බව එම සංවිධානය සඳහන් කළේ ය.
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 83ක අගයක් වාර්තා වී තිබුණ ද සෙසු සෑම දිස්ත්‍රික්කයක ම එම අගය සියය ඉක්මවා ගොස් තිබුණු බවත් පුත්තලම නගරය තුළ එම අගය 149ක් ද, ගාල්ල, කරාපිටිය සහ පොළොන්නරුව නගරය තුළ එම අගය 143ක් ලෙස ත් සටහන් වූ බව ත් එහි දක්වා ඇත.
වායු දූෂණ තත්ත්වය ඉහළ යාමේ ලක්ෂණ ඊයේ (12දා) සහ ඊට පෙරදින (11දා) වාර්තා වී තිබුණු බව ත් දින කිහිපයකින් එම තත්ත්වය අඩු විය හැකි බව ත් මධ්‍යම පරිසර අධිකාරියේ (පරිසර ආරක්ෂණ අංශය) නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් සංජය රත්නායක පැවසීය.
මෙම තත්ත්වය සාමාන්‍ය වැඩිවීමක් ලෙස දැක්විය හැකි බව ත් බොහෝ විට වෙනත් රටක සිට පැමිණි තත්ත්වයක් මිස ලංකාව තුළ උත්පාදනය වූ දූෂිත වායු තත්ත්වයක් නොවන බව ත් ඔහු පැවසුවේය.
ඉන්දියාවේ දිල්ලි නුවර ඇති වූ අයහපත් වායු දූෂණය හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ලවූ බලපෑම මත මෙම තත්ත්වය ඇති වූ බව ත් පසුගිය වසරේ දෙසැම්බර් 8 වන දා ද දිවයිනේ ප්‍රදේශ රැසක වායුගෝලයේ ගුණාත්මක බව 150 – 200ත් අතර අගයක් දක්වා ඉහළ ගිය බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කර තිබේ.


