මැඩගස්කරයේදී අත්අඩංගුවට ගැනුණු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වූ ‘හරක් කටා’ හෙවත් නඳුන් චින්තක සහ ‘කුඩු සළිඳු’ හෙවත් සළිඳු මල්ෂිත හෙට (මාර්තු 14) අඟහරුවාදා ගුවන් මගින් මෙරටට ගෙන ඒමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් කීය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, හරක් කටා සහ කුඩු සළිඳු මේ වන විට ත් ශ්‍රී ලාංකික රහස් පොලිස් කණ්ඩායමේ ආරක්ෂාව යටතේ සිටින බව ය. දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ මොවුන් දෙදෙනා මෙරටට ගෙන ඒමේ කටයුතු මේ වන විට සූදානම්ව තිබේ.
හරක් කටා සහ කුඩු සළිඳු මෙරටට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහ විශේෂ කාර්ය බළකායෙන් සැදුම්ලත් විශේෂ පොලිස් කණ්ඩායමක් 11 වන දා සවස මැඩගස්කරය බලා පිටත්ව ගියේ ය. මේ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ විශේෂ කාර්ය බළකායේ සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු ද ඇතුළත් ය.
හරක් කටා සහ කුඩු සළිඳු මෙරටට ගෙන ඒමේ ක්‍රියාවලියට මැඩගස්කරයේ ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනෙකු ද මෙරටට පැමිණීමට නියමිත ය.
කුඩු සළිඳු සහ හරක් කටා ඇතුළු 8 දෙනෙකු ඉකුත් 1 වන දා මැඩගස්කරයේදී අත්අඩංගුවට ගැනුණු අතර ඒ රතු නිවේදන හරහා ලැබී තිබූ දැනුම්දීම් මත ය.
හරක් කටාගේ බිරිය යැයි කියනු ලැබූ කාන්තාවක ද ඒ අතර වූවා ය.
නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර යටතේ විමර්ශන ක්‍රියාත්මක ය.


