සමගි ජනබලවේගයෙන් අගමැතිට විශ්වාසභංගයක් ?

මෙවර පළාත් පාලන මැතිවරණයේ ඇප මුදල් භාර ගැනීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩල තීරණයක් මගින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් දී, ඒ බව අගමැතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් ව්‍යවස්ථාදායකය නොමග යවන ලදැයි කියමින් ඊට අදාළව අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමේ හැකියාව ගැන සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ දේශපාලකයන් අතර සාකච්ඡාවක් සිදු වී තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයාට එවැනි උපදෙසක් දීම මගින් පළාත් පාලන ඡන්දය පැවැත්වීමට හිතාමතා ම බාධා කර, එමඟින් ජනතා ඡන්ද අයිතිය උදුරාගැනීමට තැත් කළැයි යන චෝදනාව යටතේ මෙසේ විශ්වාසභංගයක් ගෙන ඒමට යෝජනා වී ඇතැයි සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨතම දේශපාලකයෙක් පැවසීය.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡාවක් කර ඉදිරි කටයුතු සැලසුම් කරන බව ත් කඩිනමින් මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී සටන් කරන බව ත් හෙතෙම කීය.

පක්ෂය මේ පිළිබඳව සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇති බව ත් අගමැතිවරයාගේ මේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ගතයුතු සියලු නෛතික පියවර ගන්නා බව ත් සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පැවසීය.

අවස්ථා කිහිපයකදී අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී මේ සඳහා කැබිනට් මණ්ඩලයට උපදෙස් ලබානොදුන් බව පැවසූ නමුත් එම කැබිනට් පත්‍රිකාව මාධ්‍ය විසින් මේ වනවිටත් අනාවරණය කරනු ලැබ ඇතැයි ද මුලින් කී බොරුව නිසා රජයේ ජ්‍යෙෂ්ඨයන් දැන් මුනිවත රකිමින් සිටින්නේ යැයි ද මහ ලේකම්වරයා චෝදනා කළේ ය.

ආන්‍දෝලනයට තුඩුදුන් රාජ්‍ය පරිපාලන ලේකම්වරයාගේ එකී චක්‍රලේඛයට පදනම් වූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු 9) විපක්ෂ නායකවරයා විසින් හැන්සාඩ්ගත කරනු ලැබීමට පියවර ගත්තේ විධිමත්ව විරෝධය දැක්වීමේ පළමු පියවර වශයෙන් යැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

පළාත් පාලන මැතිවරණයේ ඇප මුදල් භාර ගැනීම අත්හිටුවමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා චක්‍රලේඛයක් නිකුත් කර පැය කිහිපයක් ඇතුළත ඉවත් කරගනු ලැබුවේ පසුගිය ජනවාරි 10 වන දා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *