බයිඩ්න්ගේ “පොදු ජන හිතවාදී” අයවැය

ලෝකයේ ලොකු ම ආර්ථික බලවතා ලෙස සැලකෙන අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා එරට ඇතැම් බදු වැඩි කිරීම සඳහා පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු 9) යෝජනා කළේ ය. ඒ ඔහුගේ වාර්ෂික අය-වැය යෝජනා ඉදිරිපත් කරමිනි.

අපේ රටවල බදු යෝජනාවලට වඩා මෙහි වෙනසක් දැකිය හැකි වන්නේ සමාජයේ මධ්‍යම සහ පහළ ස්ථරවල බදු බර වැඩි කිරීමට මේ තුළින් යෝජනා කර නොමැති බැවිනි. ඒ වෙනුවට බයිඩ්න්ගේ බදු යෝජනාවල ප්‍රධාන ඉලක්කය වන්නේ එරට සුපිරි ධනපති පෙළැන්තියයි. බයිඩ්න් ප්‍රධාන වශයෙන්ම යෝජනා කරන්නේ සමාජයේ ඉහළ ම ධනපතියන්ගෙන් අය කරන බදු සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ දැමීමට ය. මේ අනුව අමෙරිකාවේ බිලියනපතියන්ගෙන් අවම වශයෙන් සියයට 25කවත් බද්දක් අය කළ යුතු බවට ජනාධිපතිවරයා යෝජනා කරයි. මෙම යෝජනාව ක්‍රියාත්මක වුවහොත් එය බලපානු ඇත්තේ අමෙරිකාවේ ජනගහනයෙන් සියයට 0.01ක් තරම් සුළු ප්‍රතිශතයකට ය. නමුත් වසර 10 ක් ඇතුළත එයින් ඇඩොලර් බිලියන 360ක පමණ ආදායමක් උපයා ගැනීමට හැකි වනු ඇත. මෙම බිලියනපති බද්ද බලපානු ඇත්තේ අ. ඩොලර් මිලියන 100කට වැඩි වත්කම් ඇති පවුල්වලට බව ද සඳහන්ව තිබේ. ඇමරිකාවේ මෙවැනි ධනපතියන් සිටින්නේ 700කට ආසන්න සංඛ්‍යාවකි.

කෙසේ හෝ වේවා අමෙරිකාව තුළ බදු අය කරන ආකාරයෙහි කිසිදු සාධාරණත්වයක් නොමැති බවට කාලයක සිට ම චෝදනා එල්ල වෙමින් තිබේ. මේ අතර සමාජයේ ඇති – නැති පරතරය ද වේගයෙන් ඉහළ යමින් ඇත. බිලියනපතියන් දිනෙන් දින තව තවත් ධනවත් වෙමින් සිටින අතර සෙසු ස්තරවලට අයත් ජනයා ආර්ථික වශයෙන් වඩ වඩා ත් පීඩාවට පත් වෙමින් සිටිති. එවැනි තත්ත්වයක් තිබියදී පවා බිලියනපතියන් බදු ගෙවන සාමාන්‍ය ප්‍රතිශතය මධ්‍යම පන්තියේ අය ගෙවන ප්‍රතිශතයට වඩා අඩු බව ද සඳහන් ය. මේ ගැන පැහැදිලි කරමින් වරක් ජෝ බයිඩ්න් ජන හමුවක් අමතමින් මෙවැනි ප්‍රකාශයක් කළේ ය.

“අමෙරිකාවේ සිටින 700කට ආසන්න බිලියනපතියන් බදු ගෙවන සාමාන්‍ය ප්‍රතිශතය ඔබ දන්නවා ද? එය සියයට 8ක් විතර, නමුත් මෙතැන සිටින ඔබ සියලු දෙනා නිරතව සිටින රැකියා අනුව ඔබලාට ඊට වඩා වැඩි ප්‍රතිශතයකින් බදු ගෙවීමට සිදුව තිබෙනවා. ඔබ අතර සිටින සමහරුන් මේ වගේ දෙතුන් ගුණයක ප්‍රතිශතයකින් බදු ගෙවනවා”.

බිලියනපතියන්ට අවම වශයෙන් සියයට 25ක බද්දක් පැනවීම හරහා මෙවැනි විෂමතා සමනය කිරීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාවයි. මේ අතර බයිඩ්න් පසුගිය දා පවසා තිබුණේ වසරකට අ. ඩොලර් ලක්ෂ 4කට අඩුවෙන් ආදායම් ලබන කිසිවෙකුගෙන් දැනට වඩා වැඩියෙන් බදු අය කිරීමට තමා යෝජනා නොකරන බව ය.

මේ අතර, බයිඩ්න්ගේ බදු යෝජනා අතර ඇති තවත් කැපී පෙනෙන යෝජනාවක් වන්නේ ධනවතුන්ගෙන් අය කරන “මෙඩිකෙයා බද්ද” (Medicare Tax) වැඩි කිරීමේ යෝජනාවයි. මෙම බදු මුදල් යොදවන්නේ අමෙරිකාවේ වයස අවුරුදු 65ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් “මෙඩිකෙයා” නමැති සෞඛ්‍ය රක්ෂණයක් පවත්වාගෙන යාම සඳහා ය. මෙම රක්ෂණයේ පැවැත්ම මේ වනවිට තරමක අර්බුදයකට මුහුණ දී තිබේ. එය වඩාත් ශක්තිමත් කිරීම සඳහා ධනවතුන්ගෙන් අය කරන මෙඩිකෙයා බද්ද සියයට 3.8 සිට සියයට 5 දක්වා වැඩි කිරීමට ද බයිඩ්න් යෝජනා කරයි එම බදු ප්‍රතිශතය අදාළ වන්නේ වසරකට අ.ඩොලර් 400,000ට වැඩියෙන් උපයන ආදායම් සඳහා ය. සාමාන්‍ය පන්තියේ ජනයා ද මෙඩිකෙයා බද්ද ගෙවනමුත් ඔවුන්ගේ බදු ප්‍රතිශතය වැඩි කිරීමට යෝජනා කර නැත.

මේ ආකාරයෙන් ඉහළ ධනවතුන්ගෙන් වැඩි වශයෙන් බදු අය කර ගැනීමට යෝජනා කරන අතර ඇතැමුන් බදුවලින් රිංගා යෑමට යොදාගන්නා හිඩැස් වසා දැමීම සඳහා සහ ධනවතුන්ට දී තිබූ ඇතැම් බදු සහන අවසන් කිරීම සඳහා වන යෝජනා ද ජනාධිපතිවරයා ඉදිරිපත් කර තිබේ. ඉහත කී බදුවලට අමතරව තවත් බදු කිහිපයක් ජනාධිපතිවරයාගේ අය – වැය යෝජනා අතර වේ.

ජනාධිපති බයිඩ්න් ධනවතුන් ඉලක්ක කර මෙවැනි බදු යෝජනා ඉදිරිපත් කරන්නේ එරට ඉහළ යන උද්ධමනය හමුවේ සමාජයේ පහළ කොටස් විශාල වශයෙන් පීඩාවට පත්වෙමින් ඇති පසුබිමක් තුළය. මෙම උද්ධමන තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ යුක්‍රේන යුද්ධය වැනි සාධකයි. සමාජයේ ආර්ථික වශයෙන් පහළ ස්ථරයේ සිටින ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් එරට ආර්ථිකයෙන් ඉහළ ම ඵල නෙළාගන්නා ධනවත් උදවිය සහාය විය යුතුය යන්න බයිඩ්න්ගේ අදහසයි. ධනවතුන්ගෙන් අය කරගන්නා බදු මුදල් යොදා ගනිමින් පොදු ජනතාව වෙනුවෙන් කරන රජයේ වියදම් වැඩි කිරීමට ජනාධිපතිවරයා යෝජනා කරයි.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ඇතැම් ඖෂධවල මිල ගණන් අඩු කිරීම, පාසල් දරුවන්ට නොමිලයේ ආහාර ලබා දීමේ වැඩසටහන් තවදුරටත් ව්‍යාප්ත කිරීම, ග්‍රාමීය පළාත්වල මාතෘ මරණ අඩු කිරීමේ සහ මාතෘ සෞඛ්‍යය නගා සිටුවීමේ වැඩසටහන් ශක්තිමත් කිරීම, අඩු ආදායම් පවුල්වල විශ්වවිද්‍යාල සිසුන්ට ලබා දෙන ශිෂ්‍යාධාර වැඩි කිරීම, ළදරු පාසල් අධ්‍යාපනය නොමිලයේ ලබා දීමේ වැඩසටහන් පුළුල් කිරීම ඇතුළු තවත් යෝජනා රැසක් ජනාධිපති බයිඩ්න්ගේ අය-වැය සැලසුම්වලට අයත් බව මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇතැම් දේශපාලන නිරීක්ෂකයන් බයිඩ්න්ගේ මෙම අය – වැය යෝජනා හ¾දුන්වන්නේ “ජනාධිපතිවරණ අය – වැයක්” ලෙසිනි. අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරණය 2024 වසරේ පැවැත්වීමට නියමිත අතර මේ වන විට ත් ඒ පිළිබඳ උණුසුම ඉහළ යමින් තිබේ. පසුගිය ජනාධිපතිවරණයේදී බයිඩ්න් අතින් පරාජයට පත් වූ ඩොනල් ට්‍රම්ප් නැවතත් 2024 ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වීමට සූදානම් වෙයි. ජනාධිපතිවරණ උණුසුම ඉහළ යාමට මෙය ද හේතුවක් වී තිබේ. තමා ද එම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව බයිඩ්න් පවසා ඇත. ඔහුගේ මෙවර අය – වැය යෝජනා එම ජනාධිපතිවරණ ජයග්‍රහණය ද අරමුණු කරගෙන සකස් කරන ලද ඒවා බව නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

එරට කොංග්‍රසයට මන්ත්‍රීවරුන් තේරීම සඳහා පසුගිය නොවැම්බර්යේ පවත්වන ලද අර්ධ වාර මැතිවරණයෙන් බයිඩ්න්ගේ ඩිමොක්‍රටික් පක්ෂයට ජය ගන්නට ලැබුණේ නැත. කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ බහුතර ආසන සංඛ්‍යාවක් හිමි කර ගත්තේ ට්‍රම්ප් අයත් වන රිපබ්ලිකන් පක්ෂයයි. මෙවැනි තත්ත්වයන් තුළ ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනීම ඩිමොක්‍රටික් පක්ෂයට විශාල අභියෝගයක් වීමට ඉඩ තිබේ. බයිඩ්න්ගේ මෙම අය – වැය මෙවැනි කාරණාද සැලකිල්ලට ගනිමින් සකස් කළ “පොදු ජන හිතවාදී” අය – වැයක් බව පෙනේ.

කෙසේ වෙතත්, බයිඩ්න්ගේ මෙම ඇතැම් යෝජනාවලට දැනටමත් කොංග්‍රසයේ රිපබ්ලිකන් කඳවුරෙන් විරෝධය පළ වී තිබේ. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් බොහෝ වාද විවාද ඇති වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *