තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සහ රජයේ මුද්‍රණාලයාධිපතිනිය අතර හටගෙන ඇති ගැටුම දිග්ගැස්සෙන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.
මැතිවරණ කොමිෂන් සභාව, පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම මාර්තු 28 – 31 යන දිනවල සිදුකිරීමට තීරණය කිරීමෙන් පසු, මෙම ගැටුම්කාරී තත්ත්වය හටගෙන ඇති බව වාර්තා වේ.
තැපැල් ඡන්ද පත්‍රිකා මෙම මස 15 වන දා ලබාදෙන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා තමාට දැනුම් දුන් අවස්ථාවේ මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් ලැබී නොමැති බව ත්, 15 වන දා තැපැල් ඡන්ද පත්‍රිකා ලබා දීමේ ඇති අපහසුකම් පිළිබඳ දැනුම් දුන් බව ත්, මුද්‍රණාලයාධිපතිනි ගංගානී ලියනගේ පවසයි .
මුදල් ලේකම්වරයා විසින් සේවා සහ මිල දී ගැනීම් අත්හිටුවන ලෙසට නිකුත් කරනු ලැබ ඇති චක්‍රලේඛය නිසා මුදල් ලැබෙන තෙක් ඉදිරි මුද්‍රණ කටයුතු සිදුකළ නොහැකි තත්ත්වයක් උද්ගතව පවතින බව ද මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළා ය.
ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුද්‍රණ කටයුතු සිදුකිරීම රජයේ මුද්‍රණාලය සතු කාර්යයක් වුවත් ඒ සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව ඍජුව මැදිහත්විය යුතු බවත් පෙන්වා දෙන මුද්‍රණාලයාධිපතිනිය මේ වන විට මුදල් ලබා දෙන ලෙස ඉල්ලා මුදල් ලේකම්වරයා වෙත ලිපි දෙකක් යවා ඇති බවත් එම ලිපිවලට මේ වනතෙක් කිසිදු පිළිතුරක් තමාට ලැබී නැති බවත් පැවසුවා ය.
පළාත් පාලන ඡන්දය විමසීම ප්‍රමාද කිරීමට රජයේ මුද්‍රණාලයාධිපතිනිය කටයුතු කරන බවට මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා චෝදනා කරන්නේ මුහුණ පා සිටින මූල්‍ය අර්බුදය ගැන කිසිවක් නොදන්නා අයෙකු ලෙස යැයි ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබා දී තිබියදීත් ඡන්දය සඳහා ලැබිය යුතු මුදල් මෙතෙක් තමා වෙත නොලැබුණු බව ත් ඇය සඳහන් කළා ය.
ඇස්තමේන්තුගත මුදලට වඩා වැඩි මුදලක් මුද්‍රණ කටයුතු සඳහා ගෙවීමට සිදුවී ඇති බව පෙන්වා දුන් මුද්‍රණාලයාධිපතිනිය අවශ්‍ය මුදල් හා පොලිස් ආරක්‍ෂාව ලබා දෙන තෙක් ඉතිරි මුද්‍රණ කටයුතු සිදුකිරීමට නොහැකි බව ද පැවසුවා ය.
දැනට මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා පොලිස් ආරක්‍ෂාවක් නොමැතිව මුද්‍රණය කළ නිසා පොලිස් ආරක්‍ෂාව ඇතිව එම ඡන්ද පත්‍රිකා පරීක්‍ෂා කරන තෙක්, නිකුත් කළ නොහැකි බව ද සඳහන් කළ මුද්‍රණාලයාධිපතිනිය, මෙතෙක් පැවති ඡන්දවලදී මැතිවරණ කොමිෂන් සභාව මගින් මුදල් ලබා දුන් බවත්, මේ ඡන්දයේදී මුදල් ඉල්ලා මුදල් ලේකම් පසුපස තමාට යෑමට සිදුවී ඇති බව ත් කවුරු කවුරුත් වගකීම ඉටු කරනවා නම් මෙවැනි තත්ත්වයක් ඇති නොවන බව ත් පෙන්වා දුන්නා ය.
රජයේ මුද්‍රණාලයෙන් සිදුකළ යුතු කාර්ය භාරය අවසන් කිරීමට දින 25-30ත් අතර කාලයක් ගතවන බැවින් මුදල් හා පොලිස් ආරක්‍ෂාව ලැබෙන දිනයේ පටන් එම කාලය තුළ මුද්‍රණ කටයුතු අවසන් කරන බවත් ඇය පැවසුවා ය.
දිස්ත්‍රික්ක 17ක් සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්ව තිබියදී එම ඡන්ද පත්‍රිකා රජයේ මුද්‍රණාලයාධිපති විසින් භාරදුන්නා නම් එම දිස්ත්‍රික්කවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට හැකියාව තිබුණු බව ත්, එසේ සිදුවුණා නම් පවතින තත්ත්වයේ වෙනසක් ඇතිවීමට ඉඩ තිබුණු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා ‘ඉරිදා මව්බිම’ට පැවසීය.
එවැනි පසුබිමක් ඇති වීම සම්බන්ධයෙන් රජයේ මුද්‍රණලයාධිපතිනිය වගකීම භාරගත යුතුව ඇතැයි සභාපතිවරයා සඳහන් කළේ ය.
පොලිස් ආරක්ෂාව නොමැතිව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළා නම්, එම ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමට හැකියාවක් තිබෙන බව ද සභාපතිවරයා පෙන්වා දුන්නේ ය.
මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මුදල් ලබා නොදීම සහ සේවා සහ මිල දී ගැනීම් පාලනය කිරීමේ චක්‍රලේඛය හේතුවෙන් මේ වනවිට ප්‍රශ්නයක් පවතින බව ද සභාපතිවරයා සඳහන් කළේ ය.


