පකිස්ථානය පරදා ඉන්දියාව සුපිරි ජයක් ලබයි!

ආසියානු කුසලාන සුපිරි 4 දෙනාගේ වටයේ පකිස්ථානය පරදා ඉන්දියාව සුපිරි ජයක් අත් කරගත්තේය.

මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පසුගිය ඉරිදා ආරම්භ වූ අතර කෙසේ වෙතත් වර්ෂාවෙන් බාධා ඇති වීම හේතුවෙන් සංවිධායකයන් තීරණය කළේ, ඊයේ (11) දිනයට යෙදී තිබූ අතිරේක දිනයේදී නැවත තරගය පැවැත්වීමටයි.

ඊයේ නැවත වරක් වර්ෂාවෙන් බාධා ඇති වූ අතර තරග ආරම්භය ප්‍රමාද විය.

ඊයේ දිනට තරගය ආරම්භ විට පළමුව පන්දුවට පහර දෙමින් සිටි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 24යි පන්දුවක් අවසානයේ කඩුලු 2ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 147කි.

6 වැනි එක් දින ශතකය ද සමගින් ලෝකේෂ් රාහුල් නොදැවී ලකුණු 111යි.

විරාත් කෝලි 47 වැනි එක් දින ශතකය ද සමගින් නොදැවී ලකුණු 122ක් රැස් කළේ ය.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 2ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 356කි.

ලකුණු 357ක ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි පකිස්ථාන කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 5 ලකුණු 96ක් තුළ බිඳ වැටුණි.

පකිස්ථාන පිතිකරුවන්ට පිටිය තුළ සාර්ථක වීමට ඉඩ නොදුන් ඉන්දීය පන්දු යවන්නන් ඔවුන්ගේ කඩුලු 8ක් බිඳ දැමුවේ ලකුණු 128කටයි.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම ලකුණු 228කින් තරගය ජය ගත්තේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *