‘ප්‍රාග්ධන වෙළදපොළ සමාජ’පිහිටුවීමේ වැඩසටහන අද නුවරින් ඇරඹෙයි

පාසල් සිසුන්ගේ දැනුවත්භාවය සහ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමේ අරමුණින් තෝරා ගත් පාසල් 100ක ‘ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ’ පිහිටුවීමේ වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මහනුවර නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේදී අද (අගෝ. 31) ආරම්භ වී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි එම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව ය.

ලබන වසරේ සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ ද පූර්ණ සහය ඇතිව වාර්ෂික මහ බැංකු වාර්තා පාසල්වල සාකච්ඡා කෙරෙන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ත්, ඒ සඳහා ගුරුවරුන්ට සහ සිසුන්ට අවශ්‍ය පුහුණුව ශ්‍රී ලංකා මහ බැංකුව හරහා ලබා දෙන බව ත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

රට පුරා ස්ථාපනය කෙරෙන පළමු ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ 100 අතුරින් ඉහළ ම දක්ෂතා දක්වන සමාජය අයත් පාසලට ත්‍යාග පිරිනමන බව ත්, එම සමාජයේ සිසුන් දස දෙනෙකුට සහ ඔවුන්ගේ ගුරුවරුන්ට සිංගප්පූරුවට ගොස් එරට කොටස් වෙළෙඳපොළ පිළිබඳ ඔවුන්ගේ දැනුම වර්ධනය කර ගැනීමට අවස්ථාව උදාකර දෙන බව ත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, පළමු ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ 100 සඳහා තෝරා ගත් පාසල්වලට අමතරව මෙම වසර තුළදී ම දිවයින පුරා තව ත් පාසල් 200-300ක් අතර ගණනක ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ පිහිටුවීමේ වැඩසටහන ව්‍යාප්ත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර අවසන් බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *