සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වන කුඩු සළිඳු සහ හරක්කටා යන අයවලුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ගිනිඅවි 8ක් මේ වන විට සොයා ගැනීමට හැකි වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
එම අවිවලින් දෙකක් ටී පනස් හය වර්ගයේ ස්වයංක්‍රිය අවි බව ද අනෙක් ගිනිඅවි පිස්තෝල බව ත් මෙම ගිනිඅවි මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධවලට භාවිත කළ ඒවා බව ත් එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මැඩගස්කරයේදී අත්අඩංගුවට පත්වන මොවුන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙරටට රැගෙනවිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන ප්‍රශ්න කරනු ලැබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙන මොවුන් සෙල්ලප්පෙරුමගේ සළිඳු ගුණරත්න නොහොත් ‘කුඩු සළිඳු’ සහ වික්‍රමරත්න කසුන් චින්තක නොහොත් හරක්කටා යන අය විසින් විදේශගතව සිටිමින් මෙරට සිදුකරන මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් රහස් පොලිස් නිලධාරීන් විසින් දීර්ඝ ප්‍රශ්න කිරීමක් සිදුකරනු ලබයි.
මේ අතර, ඉකුත් 26 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින කුඩු සළිඳු නමැත්තා විසින් රහස් පොලිසියේ නිලධාරියෙකු රුපියල් කෝටි 13ක් ඉල්ලූ බවට කරන ලද චෝදනාවක් සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
එමෙන් ම, මුල්ලේරියාවේ නිවෙසකට ඇතුළු වී ගිනිඅවි පෙන්වා මරණීය තර්ජනය කර මුදල් සහ කාර් රථයක් කොල්ලකෑමේ චෝදනා යටතේ නීතිපතිවරයා සලකා බැලූ නඩුවකට ඔක්තෝබර් 6 වන දා හරක්කටා නමැත්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියමිතව ඇත.


