2026 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට ආසියානු කලාපයේ සුදුසුකම් ලබාගැනීමේ මුලික වටයේ තරඟ සඳහා ශ්රී ලංකාව ඇතුලත් කිරීමට ජාත්යන්තර පාපන්දු සම්මේලනය (FIFA ) විසින් ඊයේ (26) තීරණය කර තිබේ.
ජාත්යන්තර පාපන්දු සම්මේලනය පනවා තිබු කොන්දේසි කිහිපයක් ක්රීඩා අමාත්යාංශය විසින් සපුරා තිබීම නිසා මෙම තීරණය ගෙන ඇත.
පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ ආසියානු කලාපීය මූලික වටයේ තරඟ ඔක්තෝබර් මස 12වැනිදා සිට 17 වැනිදා අතර පැවැත්වීමට නියමිතය.
කෙසේනමුත්, ශ්රී ලංකාවට එරෙහි ජාත්යන්තර තහනම එලෙසම පැවැත්වෙන බැවින් ඔක්තෝබර් මස 12 වැනි දිනට එළඹී තිබෙන පළමු තරඟයට පෙර නිලවරණයක් පවත්වා නව නිලධාරී මණ්ඩලයක් පත් නොකලහොත් ශ්රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟවලට සහභාගිවීමේ අවස්ථාව අහිමිවන අතර ජාත්යන්තර තහනමද එලෙසම පවතිනු ඇත.
2023-07-27


