“මම රනිල් රාජපක්ෂ නෙවෙයි ,රනිල් වික්‍රමසිංහ!”ජනපති අවධාරණය කරයි

උතුර සහ නැගෙනහිර නියෝජනය කරන දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ ඊයේ (18) පැවැති සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර ඇත්තේ, එම ප්‍රදේශවල ජනතාව මුහුණදෙන ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා තමන් දැනටමත් පුළුල් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවත්, එය එය ඉදිරියට ගෙනයෑම හෝ නොයෑම තීරණය කිරීමට දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට භාර බවත්ය.

මෙම සාකච්ඡාවේදී, 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහාය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පැහැදිලි කර ඇත්තේ, තමන් ‘රනිල් රාජපක්ෂ’ නොව රනිල් වික්‍රමසිංහ බවයි.

කිසිදු දේශපාලන අරමුණකින් තොරව දෙමළ ජනතාව මුහුණදෙන ප්‍රශ්න විසඳීම තමාගේ සැබෑ අභිප්‍රාය බව ජනාධිපති වික්‍රමසිංහ එහිදී ප්‍රකාශ කර ඇත.

පළාත් සභාවල ක්‍රියාකාරීත්වය, ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාලය, සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය, අතුරුදන්වූවන්ගේ කාර්යාලය සහ උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධනය සම්බන්ධයෙන් විවිධ ප්‍රතිපාදන සහ සැලසුම් පිළිබඳව ජනාධිපතිවරයා විස්තර කර තිබේ.

එසේම, පුනර්ජනනීය බලශක්තිය, ජල සම්පාදනය, යටිතල පහසුකම් සංවර්ධනය, ආයෝජන ප්‍රවර්ධන කලාප සහ සංචාරක ව්‍යාපාරය කෙරෙහි අවධානය යොමු කළ ව්‍යාපෘති ඇතුළුව, උතුර සහ නැගෙනහිර පළාත් සඳහා රජය ගෙන යන සංවර්ධන මුලපිරීම් පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී අවධානය යොමු කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අදාළව ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස එහිදී සාකච්ඡා කර ඇති අතර, පොලිස් බලතල හැරුණු කොට යෝජනාවේ ඇතුළත් සියලු බලතල ලබාදීමට හැකියාවක් ඇති නමුත් පොලිස් බලතල ලබාදිය හැක්කේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් ඊට එකඟවන්නේ නම් පමණක් වන බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. එසේම පාර්ලිමේන්තුව තුළ 2/3ක බහුතරයක් ඊට අවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වාදී ඇත.

උතුර සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී දෙමළ පක්ෂ නායකයන් කරුණු මතුකර ඇති අතර, ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ, කිසිදු අයුරකින් උතුර හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමේ සූදානමක් හෝ ඒ පිළිබඳ සංවාදයක් හෝ රජය මතු කර නොමැති බවයි.

උතුර සහ නැගෙනහිර යුක්තිය පසිඳලීමේ කාර්යයේදී විදේශීය විනිසුරුවරුන්ගේ මැදිහත්වීමක් සිදුකිරීමට රජයේ කිසිදු සූදානමක් නැති බවත්, අවශ්‍ය නම් පමණක් දකුණු හා නැගෙනහිර ආසියනු රටවල පවතින ක්‍රමවේද අනුව විදේශීය නිරික්ෂකයන්ගේ වාර්තා පමණක් ලබාගැනිමේ හැකියාව ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වාදී තිබේ.

කෙසේවෙතත්, උතුරු නැඟෙනහිර ජනතාව වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට තමාගේ නොසැලී කැපවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී යළි අවධාරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *