“විපක්ෂ නායකවරයාට කාරක සභා රැස්වීම් වලට පැමිණ රාජ්‍ය නිළධාරීන්ගෙන් ප්‍රශ්න කරන්න බැහැ”- කථානායක

විපක්ෂ නායකවරයාට ඕනෑම අවස්ථාවක රාජ්‍ය නිලධාරීන් කැඳවා ඕනෑම කරුණක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් ලබාගත හැකි නමුත්, කාරක සභා රැස්වීම්වලට පැමිණ ඔවුන්ව ප්‍රශ්න කළ නොහැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද(05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පසුගිය ජූනි 30 වැනිදා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩසටහන සාකච්ඡා කළ අවස්ථාවේදී රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කථානායකවරයා මේ බව සඳහන් කළේය.

ඊට ප්‍රතිචාර දැක්වූ විපක්ෂ නායකවරයා කියා සිටියේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම EPF සහ ETF අරමුදල් මත ඇති කරන බලපෑම පිළිබඳව අදාළ රාජ්‍ය නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමට තමන් අදාළ රැස්වීමට සහභාගී වූ බවයි.

“මට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ නිශ්චිත තොරතුරු අවශ්‍යයි. ඒ නිසා මම මින් ඉදිරියට සියලුම රාජ්‍ය නිලධාරීන් කැඳවන අතර ඔවුන් නොපැමිණෙන්නේ නම් මගේ වරප්‍රසාද කඩවීමක් සිදුවෙනවා. ඒ නිසා මගේ වරප්‍රසාද කඩ වුණොත් කථානායකවරයා වගකිව යුතු බව මම ප්‍රකාශ කරනවා” යැයි විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *