“ජනපතිගේ ආරාධනාව පිළිබඳ සජබ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් සාකච්ඡාකර තීරණයක් ගන්නවා”- රංජිත් මද්දුමබණ්ඩාර

රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව සමග එක්වන ලෙස ජනාධිපතිවරයාගේ ඇරයුම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඊයේ (ජූලි 4) පැවසීය.

ජනාධිපතිවරයාගේ මෙම ආරාධනාව කුමන අරමුණක් සඳහා ද යන්න සමගි ජන බලවේගය වෙත මෙතෙක් නිල දැනුම්දීමක් කර නොමැති බව ද හෙතෙම කීය.

මීට පෙරද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ ආකාරයෙන් ම සමගි ජන බලවේගයට ආරාධනාවක් කළ නමුත් කිසිදු අවස්ථාවක සාකච්ඡාවකට පැමිණ නැතැයි ද ඔහු පැවසීය.

වර්තමාන ජනාධිපතිවරයාගේ ඉදිරි ඉලක්කය ඉතා පැහැදිලිව සමගි ජන බලවේගය දන්නා බව ත් ඔහු ජනාධිපතිවරණය බලාපොරොත්තුවෙන් මේ සියලු දේශපාලන යෝජනා සිදු කරන බව ත් ඔහු සඳහන් කළේ ය.

බංකොලොත් වී තිබෙන රට වෙනුවෙන් ඕනෑ ම දෙයක් සිදු කිරීමට සමගි ජන බලවේගය සූදානම් බව ත් නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන්නේ, නම් එයට සහයෝගය ලබා දෙන බව ත් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු පැවසීය.

එසේ ම, තමන්ගේ පක්ෂය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයවත් රැකගත නොහැකි වූ ජනාධිපතිවරයා විපක්ෂ නායකකම සමගි ජන බලවේගයට ආරක්ෂා කර දීමට කිසිදු අවශ්‍යතාවක් නැතැයි ද ඔහු වැඩිදුරට ත් පැවසුවේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *