ඇමති ටිරාන් අලස් පාතාලයට අනතුරු අඟවයි!

බස්නාහිර හා දකුණු පළාත්වල සිදුවන මිනිස් ඝාතන සම්බන්ධයෙන් වහා දැඩි පියවර ගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා එම පළාත් භාර පොලිස් ප්‍රධානීන් හට නියෝග කර ඇත.

බලපත්‍ර නොමැති හෝ බලපත්‍ර අලුත් නොකරන ලද ගිනිඅවි පොලිසියට භාර ගැනීම සඳහා ජූලි 31 දිනය දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශ කරන ලෙස ද දැනුම් දී ඇති අමාත්‍යවරයා ගිනිඅවි භාර දීමේ පොදු සමා කාලය අවසන් වීමත් සමග පොලිසිය සහ අනෙකුත් බුද්ධි අංශ සමග එක්ව නීති විරෝධී ගිනි අවි වැටලීම් ආරම්භ කරන ලෙස ද දැනුම් දී තිබේ.

අමාත්‍යවරයා මෙම නියෝග ලබා දී ඇත්තේ ඉකුත් දා පොලිස් ප්‍රධානීන් සමග සිදුකළ සාකච්ඡාවකදී ය.

මිනීමරුවන් සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කර ඇති අමාත්‍යවරයා එවැනි මෙහෙයුම්වලදී අනිසි බලපෑම් සිදු කිරීමට කිසිවෙකුට හෝ ඉඩ නොතබන බව අවධාරණය කර ඇත්තේ ජනාධිපතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් සහතිකයක් ලැබී ඇති බව පවසමිනි.

මෙහිදී පොලිස්පතිවරයා පවසා ඇත්තේ, දකුණු සහ බස්නාහිර පළාත්වල මිනීමැරුම් සහ අපරාධ වැඩිවීමට විශේෂයෙන් ම බලපා ඇත්තේ එම පළාත් දෙකෙහි ම සේවය කරන ඇතැම් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සහ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ අකාර්යක්ෂමතාව නිසා බව ය.

එහිදී ටිරාන් අලස් අමාත්‍යවරයා පොලිස්පතිවරයාට නියෝග කර ඇත්තේ, එවැනි නිලධාරීන් වහා ඉවත් කර සුදුසු නිලධාරීන් පත්කරන ලෙස ය.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.සී. මැදවත්ත විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන මහත්වරු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *