දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (ජූනි 21) විවාදයට ගැනීමට නියමිත ය.
මෙම කෙටුම්පතින් යෝජිත කොමිෂන් සභාව සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත වන අතර ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් එම සාමාජිකයන් පත්කරනු ලැබිය යුතු ය.
සාමාජිකයකුගේ උපරිම වයස අවුරුදු හැටදෙක නොඉක්මවිය යුතු ය. එහි සභාපතිවරයාගේ නිල කාලය වසර පහකි.
සාමාජිකයන් සාමාජිකත්වයෙන් ඉවත් කළ හැකි වන්නේ පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුළුව සමස්ත මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයකගේ යෝජනා සම්මතයක් අනුව ජනාධිපතිවරයා කරන නියෝගයකින් පමණි.
කොමිෂන් සභාව අරමුදලක් පවත්වාගෙන යා යුතු වන අතර කොමිෂන් සභාවෙන් නියම කරන දඩ හා වන්දි මෙන් ම, කොමිෂන් සභාව විසින් සතු කරගනු ලබන දේපළ විකිණීමෙන් ලැබෙන සියලු මුදල් ද කොමිෂන් සභාවට ලබා ගත හැකිය.
පනත් කෙටුම්පතට අනුව යම් වරදක් සිදු කිරීම සඳහා කුමන්ත්‍රණයක් සූදානමක් උත්සහයක් හෝ අනුබල දීමක් සිදුව ඇති බවට කොමිෂන් සභාව සෑහීමකට පත්වන්නේ නම් විමර්ශනයක් පවත්වන ලෙස කොමිෂන් සභාව අධ්‍යක්ෂ ජනරාල්වරයාට විධාන කරනු ලැබිය යුතු බව ද එහි සඳහන්ව තිබේ.


