ඩුබායි රටට හොර වීසා දුන් මන්ත්‍රී සොහොයුරා අත්අඩංගුවට…

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපති කාර්යාලය මගින් නිකුත් කරන වීසා බලපත්‍ර ව්‍යාජ ලෙස සකස් කර ඩුබායිහි රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් පුද්ගලයන් රැසක් රවටා ලක්ෂ ගණනින් මුදල් වංචා කළ බව කියන පුද්ගලයෙකු මහනුවර පොලිසියේ වංචා විමර්ශන අංශය මගින් පෙරේදා (ජූනි 17) සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

සැකකරු හිටපු තැපැල් ඇමතිවරයෙකු හා සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන එම්.එච්.ඒ හලීම්ගේ බාල සොහොයුරෙකු බව පොලිසිය පවසයි.

සැකකරු ඩුබායිහි රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කළ බවට ලැබුණු පැමිණිලි තුනක් සම්බන්ධයෙන් විමර්ශන කිරීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙම පැමිණිලිවලට අමතරව මෙවැනි තවත් සිදුවීම් රැසක් ඇතැයි ද කියයි.

මහනුවර මූලස්ථාන පොලිසියේ වංචා විමර්ශන අංශය මගින් එම වීසා බලපත්‍ර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපති කාර්යාලයට යොමු කර කළ විමසීමකදී ඒවා ව්‍යාජ වීසා බලපත්‍ර බව තහවුරු කර තිබේ.

මහනුවර මූලස්ථාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. එස්. උවින්දසිරිගේ මෙහෙයවීම මත පොලිස් පරීක්ෂක සංජීව, පොලිස් සැරයන් හෙට්ටිආරච්චි (81992), පොලිස් කොස්තාපල් නුවන් (81992) යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරති. මහම්මදු හාෂීන් අලීම් මහම්මුදු රාසික් (58) නමැති සැකකරු මහනුවර අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 21 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *