ජනාධිපති ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ සංචාරයක් සඳහා අද (ජූනි 17) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK 649 දරන යානයෙන් පළමුව ඩුබායි බලා පිටත්ව ගිය ජනාධිපතිවරයා එතැන් සිට වෙනත් ගුවන් යානයකින් එංගලන්තය බලා පිටත්ව යාමට නියමිත ය.

ප්‍රංශ සංචාරය අතරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත, නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සදහා වන ගෝලීය නායක සමුළුවේ ඉහළ පෙලේ සාකච්ඡා සභාවක් ඇමතීමට ආරාධනා කර ඇත.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් එම ආරාධනාව සිදු කරනු ලැබ තිබේ.

එමෙන් ම, ලබන 22 වන දා ගෝලීය නායක සමුළුව පැරිස් නුවරදී ආරම්භ වීමට ද නියමිත ය.

මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය එක්සත් රාජධානියේ සහ ප්‍රංශයේ නිල සංචාරය නිමවා නැවත පැමිණෙන තෙක් අමාත්‍ය ධූර දෙකක වැඩබැලීම සඳහා අමාත්‍යවරුන් පත් කර තිබේ.

ඒ අනුව, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස පත් කර ඇති අතර රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *