පක්ෂයේ දිස්ත්‍රික් නායකයන් කවුරුන් හෝ කැඳවනවා නම් මුලින් පක්ෂය දැනුවත් කළ යුතු බව ත් ඉන් අනතුරුව පක්ෂය විසින් එම නායකයන් දැනුවත් කිරීමට පියවර ගත යුතු බව ත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන්ට පවසා ඇති බව වාර්තා වේ.
එම පක්‍ෂයේ දිස්ත්‍රික් නායකයන් සහ බැසිල් රාජපක්‍ෂ අතර ඊයේ (15දා) පැවති සාකච්ඡාවකදී මෙම කරුණ පිළිබඳව සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.
රටේ ඉහළ පෙළේ නායකයන් සහ පොදුජන පෙරමුණු නායකයන් අතර සිදුවන සාකච්ඡා පිළිබඳ විවිධ නිලධාරීන් මාර්ගයෙන් එම නායකයන් දැනුවත් වීම සිදුකරන නිසා පක්ෂයේ විනය පිළිබඳ ගැටලුවක් ඇති විය හැකි හෙයින් මේ පිළිබඳව පක්ෂයේ සියලු දෙනා සැලකිලිමත් විය යුතු යැයි ද මෙහිදී බැසිල් රාජපක්‍ෂ පවසා ඇත.
මෙම කරුණට අමතරව දිස්ත්‍රික් මට්ටමින් පක්ෂයට ඇති ගැටලු පිළිබඳව හා පක්ෂය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී අදහස් ප්‍රකාශ වී ඇත.
පළාත් පාලන ඡන්දය පැවැත්වීම මේ මොහොතේ සුදුසු ද? නැද්ද? යන්න පිළිබඳව ද මෙහිදී බැසිල් රාජපක්‍ෂ මහතා මන්ත්‍රිවරුන්ගෙන් විමසා ඇති අතර ඒ පිළිබඳ මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇත්තේ රටේ ආර්ථික මට්ටම යම් ප්‍රකෘති තත්ත්වයකට පත්ව ඇති නිසා කෙටි කලක් තුළ මැතිවරණයකට මුහුණ දීම සුදුසු බව ය.
පසුගිය දිනක පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට පොදුජන පෙරමුණේ මන්ත්‍රින් සහභාගි වී නැත්තේ එම රැස්වීම පිළිබඳව පක්ෂය දැනුවත් කර නැති නිසා යැයි ද මෙහිදී සාකච්ඡා වී තිබේ.
ජනාධිපතිවරයා විවිධ අයගේ අදහස් හා යෝජනාවලට ඇහුම්කන් දීම නිසා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට අමාත්‍ය ධූර අහිමි වී ඇති බව ද නමුත් ආණ්ඩුවට ලබා දෙන සහයෝගය දිගට ම ලබා දෙන බව ද මෙහිදී මන්ත්‍රීවරුන් බැසිල් රාජපක්‍ෂ මහතා වෙත අදහස් ඉදිරිපත් කර ඇත.


