මහරගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකු සමඟ ගැටුමක් ඇති කරගත් තරුණයෙක් ඔවුන්ට තර්ජනය කර එක් කාන්තාවකගේ මුහුණ බද්ධ කර සකස් කරන ලද අසභ්‍ය වීඩියෝ පට ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය හරහා ප්‍රසිද්ධියට පත්කර ඩොලර්වලින් මුදල් ඉපයූ බවට තොරතුරු අනාවරණය වී ඇත. අදාළ සැකකාර තරුණයා මෙම මස 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (ජූනි 15) නියෝග කළේ ය.
මීරිගම ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. අදාළ කාන්තාවන් දෙදෙනා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත කරන ලද පැමිණිලි දෙකක් අනුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
පැමිණිලිකාර එක් කාන්තාවකගේ මියගිය දරුවෙකුට පිං පිණිස දන්සලක් පැවැත්වීම සඳහා සැකකාර පුද්ගලයා එම පැමිණිලිකාරියගේ ද අවසර ඇතිව ආධාර මුදල් එකතු කර ඇති බව ද පොලිසිය අධිකරණයට දැන්වීය.
දන්සලක් පැවැත්වීම සඳහා යැයි පවසමින් සැකකාර පුද්ගලයා එකතු කළ එම ආධාර මුදල්වලින් දන්සලක් නොපවත්වා මුදල් වංචා කිරීම නිසා දෙපාර්ශවය අතර බහින්බස් වීමක් ඇතිවී තිබෙන බව ද පොලිසිය අධිකරණයට දැන්වීය.
එම බහින්බස්වීමෙන් පසුව සැකකාර පුද්ගලයා එම කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මුහුණ යොදා සකස් කරන ලද අසභ්‍ය වීඩියෝ පට ටික්ටොක් ඔස්සේ ප්‍රචාරය කර මුදල් උපයා ඇති බව ද පොලිසිය අධිකරණයට දැක්වූ කරුණුවලින් අනාවරණය කෙරිණි.
මෙම පුද්ගලයා ටික්ටොක් ඔස්සේ මුදාහරින එම වීඩියෝ පට පුද්ගලයන් දෙලක්ෂයකට අධික පිරිසක් නරඹා ඇති බවට ද පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජයේෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක අධිකරණයට දැන්වීය.


