ඇල්පිටියේ දින 5ක් අතුරුදන්ව සිටි තරුණිය ඝාතනයට ලක් වූ බවට සාක්ෂි හමුවෙයි

වැලිගල්ල,ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි තරුණියක් තම සේවා ස්ථානය වූ ගම්පොළ නගරයේ ඔසු හලක් වෙත යමින් සිටියදී ඉකුත් ඉරු දින (07) සිට අතුරුදහන් වීමේ සිද්ධිය මේ වන විට නව මුහුණුවරක් ගනිමින් තිබෙන අතර ඇය ඝාතනයට ලක්ව ඇති බව පොලීසියට සාක්ෂි හමු වී තිබෙනවා.

ඇයගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය අද (12) පැවසූ අතර මෙලෙස අතුරුදන්වී තිබුණේ ගම්පොළ වැලිගල්ල ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි ෆාතිමා මුනව්වරා නමැති 22හැවිරිදි තරුණියක්.  


‘මේ සම්බන්ධයෙන් සැකකරුවෙක්ව පොලීසිය අත්අඩංගුවට ගත්තා. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වුණේ, ඔහු එම ප්‍රදේශයේ එළුවන් ඇති කරන පුද්ගලයෙක් බවයි. එළුවන්ට ආහාර සඳහා තණකොළ කැපීමට ගිය අවස්ථාවකදී තරුණිය ඒ මාර්ගයේ ගමන් කර තිබෙන බව අනාවරණය වී තිබෙනවා.’

‘දැනට තිබෙන තොරතුරු අනුව ඔහු ඒ අවස්ථාවේදී උත්සාහ කරලා තිබෙනවා ඇයට අතවර කරන්න. ඇය එය ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම සැකකරු විසින් ඇයව කැළෑබද ප්‍රදේශයකට රැගෙන ගොස් තිබෙනවා.’ ‘එහිදී ඝාතනය කර තිබෙන බවට තමයි දැනට තිබෙන කරුණු අනුව නිරීක්ෂණය වෙන්නේ. ඝාතනයෙන් පසු සිරුර එම ස්ථානයේදීම වළදමා තිබෙනවා.’

නමුත් සිරුර මෙතෙක් හමුවී නැහැ. ‘අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24 ක් වයසැති එම ප්‍රදේශයේම තරුණයෙක්. ඔවුන් එකිනෙකා හඳුනන අය බවත් වාර්තා වුණා’ සිද්ධිය පිළිබඳ අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා එසේ පැවසීය.

තම සේවා ස්ථානයට යාම සඳහා ඉකුත් ඉරිදා උදෑසන නිවසින් පිටත්වූ ගම්පොළ ප්‍රදේශයේ ඔසුසලක සේවය කළ ෆාතිමා දින 05ක සිට අතුරුදන්වී තිබුණා.

බස් රථයක් ලබාගැනීම සඳහා නිවසේ සිට කිලෝමීටර 2ක් පමණ පාගමනින් වැලිගල්ල දක්වා යායුතු අතර එම මාර්ගයේ බොහෝ ස්ථාන පාළු ස්වභාවයක් ගන්නා අතර කෙසේවෙතත්, නිවසේ සිට මීටර් 100ක් පමණ ඉදිරියට යාමේදී හමුවන ඇල්පිටිය මුස්ලිම් පල්ලියේ CCTV කැමරාවෙහි ෆාතිමා මාර්ගයේ ගමන් කරන අයුරු දක්නට තිබණා.

ඉන් තවත් මීටර් 500 ක් පමණ ඉදිරියට යාමේදී හමුවන CCTV කැමරාවේ ෆාතිමා මාර්ගයේ ගමන් කරන දර්ශනයක් සටහන්වී නොමැති අතර කිසිදු ප්‍රදෙශ්වසියෙකුද ඇයව දැක නොමැති අතර ඒ අනුව ගම්පොළ පොලීසිය සහ ප්‍රදේශවාසීන් ඊයේ (11) ගම්පොළ වැලිගල්ල මහවැලි ගඟ ඉවුර හා ඒ අසල කැළෑබඳ ප්රදේශවල සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබුණා.


අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ කරුණු මත මෙම තරුණිය ඝාතනය කොට වළ දමා ඇති බවටයි විශ්වාස කරන්නේ. මෘත දේහය ගොඩ ගැනීමේ කටයුතු හෙට (13) දින සිදුකිරීමට නියමිත බව පොලිසිය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *