ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා උතුරු පළාත නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් මෙම සතියේදී පැවැත්වෙන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පැවසීය.
එම සාකච්ඡාව 11, 12, 13 යන දිනවල පැවැත්වෙන බව ඒ මහතා සඳහන් කළේ ය.
මෙහිදී ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇති බව ත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ධූර කාලයේදී මෙම ගැටලුව විසඳාගත හැකි යැයි තමන් විශ්වාස කරන බව ත් අමාත්‍යවරයා කීය.
මේ සම්බන්ධයෙන් වන සාකච්ඡා ඉදිරියට ගෙන යාමට උතුරේ මහජන නියෝජිතයන් මෙන් ම ජනතාවත් සහයෝගය ලබාදිය යුතුව ඇතැයි ද කී අමාත්‍යවරයා මෙම සාකච්ඡාවට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ද සහභාගිවීමට නියමිත බව පැවසීය.
සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන්, සාකච්ඡා අවස්ථාව ඉතා වැදගත් බවත් ජනවාර්ගික අර්බුදය පමණක් නොව මේ වින විට උතුරේ පවතින නොසන්සුන්කාරී වතාවරණය හා ගැටලු පිළිබඳවත් මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමට අපෙක්ෂා කරන බව පැවසීය.
මෙම සාකච්ඡාවට පෙර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම සන්ධානයේ නායක ආර්. සම්පන්දන්ගේ කොළඹ පිහිටි නිවසේදී රැස්වීමටත් තීරණය කර ඇති බව වාර්තා වේ.


