වෙසක් සතිය තුළ ආගමට, සදාචාරයට සහ සංස්කෘතියට නොගැළපෙන ආකාරයේ කටයුතු සිදුකිරීමෙන් වළකින ලෙස පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටී.
එබැවින් පොහොය දිනය ඇතුළු වෙසක් දිනවල එවන් ක්‍රියාවලට කිසිසේත් ඉඩ නොදෙන බව ත් පොලිස් මූලස්ථානය අවධාරණය කරයි.
ඔළුබක්කන් නැටවීමට ද කිසිසේත් ඉඩනොදෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා කියයි.
මුදල් උපයා ගැනීමේ පරමාර්ථයෙන් වෙසක් කාලයට නොගැලපෙන නුසුදුසු විවිධ කටයුතු සිදු නොකරන ලෙස ද හෙතෙම මහජනයාගෙන් ඉල්ලා සිටී.
එමෙන් ම, වෙසක් කලාපවලට පොලිසිය අවශ්‍ය ආරක්ෂාව සපයන බව ත් ඒ සඳහා පොලිස් නිලධාරීන්, රථවාහන නිලධාරීන්, සිවිල් ඇඳුම්ලාගත් නිලධාරීන් පවා යොදවා ඇති බව ත් ඒ මහතා කියයි.
වෙසක් සිරි නරඹන පිරිස් අතර ගැටකපන්නන් සහ මංකොල්ලකරුවන් සිටිය හැකි බැවින් පොලිසිය ඒ ගැන ද අවධානයෙන් සිටින බව ඔහු පවසයි.
එමෙන් ම, රථවාහන පාලනය සඳහා ද නිලධාරීන් යොදවා ඇති අතර රථවාහන තදබදයකින් තොරව ගමන් කිරීම සඳහා ඔවුන් ක්‍රියාකරන බව කියන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අධික වේගයෙන් රිය ධාවනය කරන්නවුන් සහ බීමත් රියැදුරන් කොටු කර ගැනීමටත් පදික වේදිකාව අවහිර වන ලෙස වාහන නතර කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පෙන්වා දෙයි.
කොළඹ සහ මහනුවර ප්‍රදේශවල නොසැලකිලිමත් ලෙස වාහන නතර කර තිබුණොත් රථවාහන නිලධාරීන් එම වාහන ඇදගෙන යන බව ද කී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා එම වියදම් රථයේ රියැදුරා හෝ හිමිකරු ගෙවිය යුතුය බව ත් සඳහන් කරයි.
යතුරුපැදිවල හිස්වැසුම් නැතිව දෙදෙනෙකුට වැඩිය පුද්ගලයන් දමාගෙන යාමට මෙවර ඉඩ නොදෙන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
එමෙන් ම ත්‍රිරෝද රියවල පාලනය කරගත නොහැකි ආකාරයේ පිරිස් පටවාගෙන යන්නවුන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කරන බවද හෙතෙම පවසයි.
එමෙන් ම, පරිත්‍යාගශීලීන් මාර්ගවල ගමන් කරන අයට ආහාර ලබා දීමේදී මාර්ගය අවහිර නොකරන ලෙසත් දන්සලක් ඉතා කෙටි වේලාවක් පවත්වා ඉන්පසුව බීමත්ව ගීත ගායනා කරමින් කරමින් සිටින්නන්ට එරෙහිව ක්‍රියාත්මක වී එවැනි ක්‍රියා නතර කරලීමට පොලිසියට මේ වනවිටත් උපදෙස් ලබා දී ඇති බව ත් ඒ මහතා කීය.
එමෙන් ම, වෙසක් සතිය තුළ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කරන්නන් ඒ සඳහා යුහුසුලුව කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බව ත් ඒ සඳහා වැටලීම් සිදු කරන බව ත් නිහාල් තල්දූව මහතා අවධාරණය කරයි.
එළඹී ඇති වෙසක් සතිය තුළ මහ ජනයා ආරක්ෂා කිරීමේ කටයුතු මේ වනවිටත් සංවිධානය කර ඇති බව කී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙසක් කලාපය බෞද්ධාලෝක මාවතෙන් ආරම්භ වී තර්ස්ටන් පාර, ගාලු පාර, ගාලු මුවෙදාර දක්වා ම දීර්ඝ වෙසක් කලාපයක් මෙන් ම කොම්පඤ්ඤවීදිය ගංගාරාම විහාරස්ථානයේ ද මහනුවර සහ විවිධ නගරවල ද වෙසක් කලාප ක්‍රියාත්මක වන බවට පොලිසිය වෙත දැනුම් දී ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබා දී ඇති බව ද හෙතෙම අවධාරණය කළේ ය.


