අදත් ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි…

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

නැගෙනහිර පළාතේ මෙන්ම  මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ.

අදාළ නිවේදනයේ  වැඩිදුරටත් දැක්වෙන්නේ, ඉදිරි දින කිහිපයේදී ද මෙම වැසි තත්ත්වය දිවයිනේ බොහෝ ප්‍රදේශවල බලාපොරොත්තු විය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි සමග  ඇතිවිය හැකි තාවකාලික තද සුළගින්  සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

මේ අතර, මහනුවර, බදුල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ, මහනුවර දිස්ත්‍රික්කයේ උඩ පළාත, බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට එලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.

එම ප්‍රදේශවල ජනතාව, නායයෑම්, බෑවුම් කඩාවැටීම්, ගල් පෙරළීම්, පස් කණ්ඩි කඩා වැටීම් සහ පොළව ගිලාබැසීම් සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *