ඩෙල්ෆ් ඝාතකයාට හසු වූ 100 හැවිරිදි කාන්තාවද මිය යයි

යාපනය ඩෙල්ෆ්ට් දුපතේ පංච පුද්ගල ඝාතන සිද්ධියේදී බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි 100 හැවිරිදි වියේ පසුවූ වයෝවෘද කාන්තාවද ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ අනුව මෙම සිද්ධියෙන් මේ වනවිට මියගොස් ඇති සංඛ්‍යාව 06කි. සිද්ධිය වූ දිනයේම කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් පසුගිය 22වනදා අත්අඩංගුවට ගනු ලැබීය. පුංකුඩුතිව් ප්‍රදේශයේ නිවසක සිටිය දී අදාළ සැකකරුව පොලීසිය විසින් සොයාගෙන ඇත. ජර්මනියේ සිට මෙරටට පැමිණ සිටි සැකකරු රත්‍රං ඇතුළු වටිනා භාණ්ඩ මංකොල්ලාකෑමේ අරමුණින් එම ඝාතන සිදුකර ඇති බවට පොලීසිය සැක පළකරයි.

එම පුද්ගලයා අවුරුදු 20ක් පමණ ජර්මනියේ ජීවත්ව මෙරටට පැමිණි අයෙක් බව ද පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ. එම අපරාධය සිදුව තිබුණේ යාපනය, ඩෙල්ෆ් දූපතේ ජැටියට ආසන්න මාවේලි ප්‍රදේශයේ නිවසක් තුළය.
පොලිසිය පැවසුවේ 51 හැවිරිදි සභාරත්නම් රගූ නැමැති ඔහු සතුව තිබී රන් මාල 3ක් , වළලු ජෝඩු 2ක් , තනි වළල්ලක් , මුදු 8 ක් , පෙන්ඩන්ට් 01ක් , කරාඹු 02 ක්, ජංගම දුරකථන 02 ක් සහ සාරි සහිත ගමන්මල්ලක් සොයාගත් බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *