ඩෙල්ෆ් දූපතේ පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ…

යාපනය ඩෙල්ෆ් දූපතේ නෙඩුන්තීව් ප්‍රදේශයේ සිදුවූ පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඊයේ (අප්‍රේල් 23) අලුයම් කාලයේදී අත්අඩංගුවට ගත් බව ඩෙල්ෆ් පොලිසිය පවසයි.

ඩෙල්ෆ් පොලිසිය සමග උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්‍ෂණය යටතේ පත් කළ විශේෂ පොලිස් කණ්ඩායම් 3ක සහභාගිත්වයෙන් කෙරුණු විශේෂ පරීක්‍ෂණයක් අතරතුරදී අදාළ සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී රන් මාල, වළලු හා කරාබු කිහිපයක් ද තිබී සොයා ගැනීමට හැකිව තිබේ.

51 හැවිරිදි සැකකරු යාපනය පුංකුඩතිව් ප්‍රදේශයේ නිවසක් තුළ සැඟව සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු වසර 20ක් පමණ විදෙස්ගතව සිට පැමිණි අයෙකු බවටත් තොරතුරු අනාවරණය වී ඇත.

සැකකරු රන්භාණ්ඩ කොල්ලකෑමට නිවසට ඇතුළුවූ අවස්ථාවේදී නිවැසියන් විසින් එම පුද්ගලයා හඳුනා ගැනීම හේතුවෙන් මෙලෙස ඝාතනය කොට රන් භාණ්ඩ රැගෙන පළා යන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණ නියෝගයන් මත රඳවා ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන බවට ද ඔහු කයිට්ස් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවට ද ඩෙල්ෆ් පොලිසිය වැඩිදුරටත් පැවසීය.

සිද්ධිය සම්බන්ධව පරීක්‍ෂණ ආරම්භ කෙරුණේ, යාපනයේ ඩෙල්ෆ් අකුරුතුරෙයි ප්‍රදේශයේ නිවසක් තුළ තිබී කපා කොටා ඝාතනය කළ පුද්ගලයන් පස් දෙනකුගේ මළ සිරුරු පහක් පොලිසිය විසින් සොයා ගනු ලැබීමෙන් පසුව ය.

නිවසේ සිටි හය දෙනාගෙන් පස් දෙනෙකු ම ඝාතනයට ලක්වී සිටි අතර එක් කාන්තාවක් පමණක් බරපතළ ලෙස තුවාල ලබා තිබේ.

මරණයට පත්ව සිටින සියලු ම දෙනා වයස අවුරුදු 75 ඉක්මවන ලද අය වන අතර ඔවුන් ලන්ඩන් පුරවැසියෙකු වන වේලායුදම්පිල්ලේ නාගේන්ද්‍ර රත්නම් (78), නාගනාධි බාලසිංහම් (82), බාලසිංහම් කන්මනිපිල්ලේ (76), කාර්තිකේසු නාගේශ්වරී (83), යාපනයේ පදිංචිව සිටි මහාදේවන් (අවුරුදු 75) වශයෙන් හඳුනා ගෙන ඇත.

නිවසේ උදවිය සියලු දෙනා ම නින්දට ගිය පසුව මෙම ඝාතනය සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරන අතර දහවල් වනතුරුත් නිවසේ කිසිදු අයෙකු එළියට නොපැමිණීම නිසා ඇති වූ සැකයක් මත යාබද නිවසක අයෙකු කළ දැනුම් දීමකට අනුව පොලිසිය එම නිවසට ගොස් නිවෙස පරීක්‍ෂා කිරීමේදී පස් දෙනාගේ මළ සිරුරු හමු වී ඇත.

යාපනය ඩෙල්ෆ් මහේස්ත්‍රාත් ගජනිති බාලන් සිද්ධිය වූ ස්ථානයට ගොස් ස්ථානීය මරණ පරීක්‍ෂණ සිදු කරන ලද අතර එහිදී සැකකරුවන් මුහුදු මගින් පළා යා හැකි නිසා මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත යාපනය හා ඩෙල්ෆ් අතර බෝට්ටු සේවාව ද නවතා දැමිනි.

ඩෙල්ෆ් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *