බණ්ඩි පොහොර මිල අඩු කිරීමට රජයේ අවධානය!

MOP හෙවත් බණ්ඩි පොහොර මිල මෙවර යල කන්නයේ වී වගාව සඳහා රුපියල් 4,500කින් මිල පහළ දැමීම කෙරෙහි රජයේ අවධානය යොමු කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය දා රැස් වූ අමාත්‍ය මණ්ඩ‍ලයේදී මේ සම්බන්ධව රජයේ අවධානය යොමු කර තිබෙන අතර දැනට වෙළෙඳපළේ MOP පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 18,500ක පමණ මිලකට අලෙවි වන බැවින් එම මුදල ගොවි ජනතාවට දරා ගැනීමට අපහසු නිසා මිල අඩු කිරීමට තීරණය කළ බව ය.

ඒ අනුව, ලබන සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩ‍ල සාකච්ඡාවේදී මේ පිළිබඳ අවසන් තීරණය ගනු ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

රජයට අයත් පොහොර සමාගම් දෙක විසින් අවම මිලක් යටතේ පොහොර ලබා දීමට කටයුතු කරන නිසා මේ වන විට රසායනික පොහොර අලෙවිය සම්බන්ධව වෙළෙඳපොළ තුළ තරගකාරීත්වයක් මතු වී ඇති අතර එහි වාසිය ගොවි ජනතාවට ලැබෙන පරිදි පසුගිය යල කන්නයේ රුපියල් 42,000කට පැවති යූරියා පොහොර මිටියක මිල මේ වන විට රුපියල් 11,000 දක්වා අවම වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

ඒ අනුව, ඉදිරි කාලයේ දී යූරියා පොහොර මිල අඩුවුනාක් මෙන් TSP හෙවත් මඩ පොහොර සහ MOP හෙවත් බණ්ඩි පොහොර මිල ගණන් ද තවදුරට ත් අඩු වනු ඇති බව ද පුද්ගලික අංශයේ පොහොර අලෙවිකරුවන් අමාත්‍යවරයා සමග ප්‍රකාශ කර තිබේ.

පසුගිය කාලය තුළ පොහොර ආනයනය කරන සහ බෙදාහරින පුද්ගලික සමාගම් රට තුළ පැවතියේ 6ක් වැනි සුළු ප්‍රමාණයක් වුව ද දැනට මෙරටට ආනයනය කරන සහ බෙදා හරින පොහොර සමාගම් සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් ඇති බව ත් මෙම තරඟකාරීත්වයේ වාසිය ගොවි ජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙස තමන් එම සමාගම් වෙතින් ඉල්ලා සිටි බව ත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරට ත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *