මෙතෙක් ඉටු නොවූ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද (අප්‍රේල් 6) සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැළීමට පියවර ගන්නා බව සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහා සංගම් හා කාර්යාල නිලධාරි සංගමය අවධාරණය කරයි.
මහනුවරදී ඊයේ (අප්‍රේල් 5) මාධ්‍ය හමුවක් කැඳවමින් එම සංගමයේ සභාපති එන්.ඒ.අයි.බී. අබේසිංහ සඳහන් කළේ, තමන්ගේ වෘත්තීය ඉල්ලීම් වසර දෙකක කාලයක් පුරා අදාළ බලධාරීන් වෙත යොමු කළද මේ දක්වා කිසිදු හෝ විසඳුමක් නොලද බැවින් අද (අප්‍රේල් 6) සිට වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව ත් ඒ අනුව අද දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු 1086 ම සම්පූර්ණයෙන් වසා දමා දැඩි විරෝධය පළ කරන බව ත් ය.
සමෘද්ධි බැංකු සේවක සංයුතියේ ගැටලු හා දීමනා ගැටලු පිළිබඳව දිගින් දිගට ම ඉල්ලීම් කළත් ඒ සඳහා අදාළ බලධාරීන්ගේ කිසිදු අවධානයක් යොමු නොවුණු බව ත් සඳහන් කළ අබේසිංහ මහතා වසර ගණනාවක් අඛණ්ඩව සිදු කළ සමෘද්ධි බැංකු මගින් පවත්වන අවුරුදු උත්සව පවා මෙවර තම සංගමය වර්ජනය කරන බව පැවසීය.
තවදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේ ද කීය.
“අපි මේ දීර්ඝකාලීන ගැටලු පිළිබඳව වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුවත් කළා. ජනාධිපතිවරයා මේ ගැටලුව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා සම්මත කොට වාර්තාව නැවතත් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට අදාළ කටයුතු සඳහා යොමු කළා. නමුත් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් හිරන්යා කළුතන්ත්‍රි අත්තනෝමතිකව කටයුතු කරමින් ඒ කැබිනට් පත්‍රිකාව නැවතත් ජනාධිපති කාර්යාලයට ම යවලා තිබෙනවා.
මේ සම්බන්ධව විෂයභාර අමාත්‍ය, සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් හා ලේකම්වරු සමග අපි 4 වන දා සාකච්ඡා කළා. නමුත් ඒ අය සුපුරුදු පරිදි අපිට කැරට් අලේ පෙන්නලා වැඩේ කරගන්න තමයි බලන්නේ. විසඳුමක් නෑ. අපි දැන් ගන්නා වෘත්තීය ක්‍රියාමාර්ගයට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ මේ අත්තනෝමතික නිලධාරීන් බව සඳහන් කරනවා. අපි හෙට ආරම්භ කරන වෘත්තීය ක්‍රියාමාර්ගය දිනෙන් දින වැඩි කරන බව සඳහන් කරනවා. මේ හේතුවෙන් ලක්ෂ 35කට අධික සමෘද්ධි බැංකු ගනුදෙනුකරුවන්ට අපේ කනගාටුව පළ කරනවා.”
මෙහිදී අදහස් පළ කළ සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහ සංගම් හා කාර්යාල නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් බී.එම්.ඒ.බී. බස්නායක කියා සිටියේ, “මේ රටේ බහුතරයක් රජ්‍ය නිලධාරීන් විවිධ වරප්‍රසාද ලබමින් යහපත් ජීවිතයක් ගත කරද්දී සමෘද්ධි නිලධාරීන් දිනෙන් දින ප්‍රපාතය කරා ගමන් කරන බව ය. මේ ක්ෂේත්‍ර හා බැංකු නිලධාරීන්ට ගෙවන රුපියල් 12,000ක සොච්චම් දීමනාව රුපියල් 18,000ක් දක්වා වැඩි කරලා නිලධාරී සංයුතිය නිසි ආකාරව සකස් කරන්න කියල විතරයි අපි ඉල්ලන්නේ. අපි 6 වන දා නිවාඩු දාලා දිවයින පුරා ඇති සමෘද්ධි බැංකු 1086 වසා දමනවා. මේකට අවධානය යොමු කළේ නැත්නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා යි,” හෙතෙම කීය.
මාධ්‍ය හමුව ඇමතූ සංගමයේ සුබසාධක ලේකම් ඩී.එම්.කේ.බී. දිසානායක කියා සිටියේ, තමා ඇතුළු 24,000ක් වූ සමෘද්ධි බැංකු නිලධාරීන් තම තරුණ ජීවිත මෙම සමෘද්ධි බැංකු ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් කැප කළ ද කිසිදු ප්‍රතිලාභයක් නොලද බව ත් තවදුරටත් මේ ගැටලු විසඳා ගැනීමට නොහැකි නම් දිවයින පුරා සියලු සමෘද්ධි සංගම් ඒකාබද්ධව දැඩි අඛණ්ඩ වූ වෘත්තීය ක්‍රියාමාර්ග වෙත ප්‍රවිෂ්ට වන බවත් ය.


