විවෘත විශ්ව විද්‍යාලය පෞද්ගලික විශ්ව විද්‍යාලයක් කිරීමට පනත් කෙටුම්පතක්?

විවෘත විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉවත් කර වෙන ම පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙසින් පවත්වා ගෙන යාමට අධිකරණ හා බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පනත් කෙටුම්පතක් සකස් කර ඇතැයි එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අබ්දුල්ලා මොහොමඩ් රිෆාක් පැවසීය.

උසස් අධ්‍යාපන විෂයට කිසිදු අදාළත්වයක් නොමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතර දෙනෙකු යොදා කමිටුවක් පත් කර මෙම පනත් කෙටුම්පත සකස් කර තිබෙන බව ද සභාපතිවරයා කීවේ ය.

උසස් අධ්‍යාපන ඇමතිවරයා හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ සහභාගිත්වයෙන් තොරව උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට අදාළ මෙම කෙටුම්පත නිර්මාණය කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේ ය.

රාජ්‍ය විශ්වවිද්‍යාලයක් පිළිබඳව මේ ආකාරයට බාහිර පාර්ශ්වයන්ට මැදිහත්විය නොහැකි බව ත්, මෙම පනත් කෙටුම්පතට විරුද්ධව ශිෂ්‍යයන්ගේ විරෝධය පළ වී තිබෙන බව ත් රිෆාක් මහතා පැවසීය.

මේ අතර, විවෘත විශ්වවිද්‍යාලයේ ගාස්තු සියයට 55කින් ඉහළ දමා තිබීම තුළ සිසුන් දැඩි අපහසුතාවට ලක්ව ඇතැයි ද සභාපතිවරයා කීවේ ය.

ඒ අනුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 34,000න් සියයට 40ක් සිය පාඨමාලා අතහැර යන තත්ත්වයට පත්වී සිටින බව ද හෙතෙම සඳහන් කළේ ය.

මීට අමතරව, විශ්වවිද්‍යාලය තුළ ආපනශාලා ගැටලු, නේවාසිකාගාර ගැටලු, අදහස් ප්‍රකාශ කිරීම් සීමා කිරීම ඇතුළු ගැටලු ගණනාවකට සිසුන් මුහුණ දී සිටින බව ද අබ්දුල්ලා මොහොමඩ් රිෆාක් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *