නීති විරෝධි ලෙස ගෙන්වා අලෙවි කරන චොක්ලට් හා රසකැවිලි අත්අඩංගුවට

මෙරට ක්‍රියාත්මක ආහාර පනතට පටහැනි ලෙස අලෙවි කරනු ලබන සියලු ම චොකලට් සහ රසකැවිලි අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මෙසේ ද පැවසීය.

“වර්තමානයේ රට තුළ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් විදෙස් රටවලින් චොකලට් ඇතුළු රසකැවිලි ගෙන්වීමේදී සීමා පනවා තිබෙනවා. නමුත් ඇතැම් ව්‍යාපාරිකයන් හොර රහසේ මෙරටට චොකලට් සහ විවිධ රසකැවිලි ගෙන්වා අලෙවිය සඳහා බෙදාහරින බව දැනගන්නට ලැබී තිබෙනවා.

විදෙස් රටවලින් මෙරටට ගෙන්වන ඕනෑම ආහාර ද්‍රව්‍යයක් දේශීය වෙළෙඳපෙළේ අලෙවි කිරීමේදී ආහාර පනත අනුව සීමා පනවා තිබෙනවා. ඒ අනුව අලෙවි කරන ආහාර ද්‍රව්‍යවල ඇතුළත් වන්නේ මොනවා ද? නිෂ්පාදිත ආයතනය මෙන්ම නිෂ්පාදිත සහ කල් ඉකුත් වන දිනය මෙරට භාවිත කරන භාෂා දෙකකින් ඉතාමත් ම පැහැදිලිව දක්වා තිබිය යුතුයි.

එවැනි සටහනක් අලෙවි කරන ආහාර ද්‍රව්‍ය ප්‍රදර්ශනය කළ හැක්කේ නීත්‍යනුකූල මට්ටමින් මෙරටට ගෙන්වා තිබුණොත් පමණයි. ඒ නිසා ඇතැම් ව්‍යාපාරිකයන් ආහාර පනත උල්ලංඝනය කරමින් චොකලට් සහ රසකැවිලි අලෙවි කරන බවට අපට තොරතුරු වාර්තා වී තිබෙනවා.

ඒ ආකාරයට නීති විරෝධී ලෙස ගෙන්වා අලෙවි කිරීම සඳහා ප්‍රදර්ශනය කරන සියලුම චොකලට් සහ රසකැවිලි ඉදිරි දිනවලදී අපි විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව කියන්න කැමැතියි. මේ නිසා අපි ව්‍යාපාරිකයන්ගෙන් මෙන් ම පාරිභෝගිකයන්ගෙන් ද ඉල්ලීමක් කරන්නේ විධිමත් ලෙස අලෙවි කිරීමට ඇති දේ පමණක් මිලදී ගන්නා ලෙසයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *