අලෙවිය අඩු වී පිරවුම්හල් අමාරුවේ

ඉන්ධන අලෙවිය දිගින් දිගටම අඩුවීම නිසා ඉන්ධන පිරවුම්හල්වල මාසික පිරිවැටුම 30%ත් 40%ත් අතර ගණනකින් පහළ වැටී ඇතැයි තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා පැවසීය. වෙනදා ඉන්ධන පිරවුම්හල්වලට ගෙනෙන තෙල් තොගය දිනක් හෝ දෙකක් තුළ අවසන් වුවත් දැන් ඊට දින තුන හතරක කාලයක් ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ නිසා ඉන්ධන හල් හිමියන්ට අධික බැංකු පොලියක් ගෙවීමටද සිදුවී තිබේ. ඒ හේතුවෙන් අනාගතයේදී ඉන්ධන පිරවුම්හල්වල සේවකයන් කොටසක් ඉවත් කිරීමට පවා සිදුවිය හැකි බව සම ලේකම්වරයා වැඩිදුරටත් කීය.

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ රජය හඳුන්වා දුන් QR කේතය නිසා තෙල් අලෙවිය අඩුවිය. දැනට මාසිකව මෝටර් රථයකට හිමිවන පෙට්‍රල් ලීටර් 80 ලබාගැනීම සඳහා රුපියල් 32,000ක් පමණ වැය කළ යුතුය. තෙල් අලෙවිය අඩුවීමට එම තත්ත්වය ද බලපා ඇත. එනිසා ඉදිරියට QR කේතය අවශ්‍ය නොවනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *