මෛත්‍රීගේ පාස්කු පෙත්සම විභාගයට දින නියම වෙයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ගොනු කර තිබෙන පෞද්ගලික පැමිණිල්ලක් බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කළ රිට් පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ජූලි 31 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (මාර්තු 17) නියෝග කර තිබේ.

එම පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව, අදාළ පෙත්සම ජූලි 31 සහ අගෝස්තු මස 9 වන දා විභාගයට ගන්නා බවට විනිසුරු මඩුල්ල සඳහන් කර තිබේ,

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය නොසලකා හැර සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමා ඇතුළු දෙදෙනෙකු විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පුද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබිණි.

එම පැමිණිල්ල සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත්වරයා අදාළ පැමිණිල්ලේ සැකකරුවකු වශයෙන් නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කර තිබිණි.

ඒ අනුව, අදාළ සිතාසිය නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බව ත් එබැවින් එය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ත් ඉල්ලමින් මෛත්‍රීපාල සිරිසේන විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබ තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *