IMF ණය සහන වැඩසටහන සදහා සහය දෙන්නැයි ජනපති රනිල් ණය හිමියන්ගෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය වැඩසටහනින් බලාපොරොත්තු වන ණය සහන වැඩසටහන සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙරට නිල ත්‍රෛපාර්ශ්විකයන්ගෙන් හා පැරිස් සමාජයේ ණය හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති පරිදි මෙරට තුළ දැනටමත් ප්‍රතිසංස්කරණ රැසක් සිදුකර තිබෙන බව ජනාධිපතිවරයා එම ණය හිමියන් වෙත විවෘත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව නිදහස ලබා වසර 75ක කාලය තුළ රටේ ආර්ථික යහපැවැත්ම සහ අනාගතයේ සංවර්ධනය පිළිබඳ මෙවැනි තීරණාත්මක කාලපරිච්ඡේදයක් මීට පෙර නොතිබුණු බව ද ජනාධිපති වික්‍රමසිංහ එහි දක්වා තිබේ.

පසුගිය ජූලි මාසයේදී තමා බලයට පත්වූ දා සිට ලක් රජය මෙරට ණය තත්ත්වය පිළිබඳ නිසි තක්සේරුවක් කිරීමට සහ අය-වැය පරතරය පියවා ගැනීමේ ප්‍රයත්නයන් සඳහා අවශ්‍ය සියලු තොරතුරු සපයමින් සිටින බව ද හෙතෙම සඳහන් කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වූ පූර්ව ක්‍රියාමාර්ග මගින් මෙරට පරිපාලනය දැනටමත් ප්‍රතිසංස්කරණ රැසක් සිදුකර තිබෙන බවත් මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ඉතා වැදගත්වනු ඇති බව ත් ජනාධිපතිවරයා දක්වා තිබේ.

නිල ද්විපාර්ශ්වික ණය හිමියන් ණය ලබා දීම කාර්යක්ෂමව විනිවිදභාවයෙන් හා සාධාරණව ක්‍රියාත්මක වීම හොඳ ම ක්‍රමය බවත් ඒ සඳහා කැපවන ලෙස පැරිස් සමාජයේ ද්විපාර්ශ්වික හවුල්කරුවන්ගෙන් ඉල්ලා සිටින බවත් රනිල් වික්‍රමසිංහ සඳහන් කර ඇත.

ජපානය, ඉන්දියාව සහ චීනය ඇතුළු අනෙකුත් නිල ද්විපාර්ශ්වික හවුල්කරුවන් සමඟ සම්බන්ධීකරණය කර ඊට සහය දක්වන ලෙස ඉල්ලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *