හරක් කටා මෙරටට ගෙන ඒම හෙටට කල් යයි

මැඩගස්කරයේ දී අත්අඩංගුවට පත් නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ යන අන්වර්ථ නාමයෙන් හැඳිවෙන පුද්ගලයා ඇතුළු මත්කුඩු ජාවාරමේ නිරත ප්‍රබල පාතාල අපරාධකරුවකු ලෙස සැකකෙරෙන පිරිස අද (14) උදැසන මෙරට ගෙනඒමට නියමිතව තිබුනද එය එක්දිනකින් පමාවනු ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

ගුවන්යානා ප්‍රමාදයක් ඊට බලපා ඇතැයි පැවසේ.

සැකකරුවන්ගේ ආරක්ෂාව කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර ඇතැයි ද වාර්තාවේ.

මෙම සැකකරුවන් දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තබාගෙන දීර්ඝ ලෙස විමර්ශන පැවැත්වීමට බලධාරීන් තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කාවින්ද පියසේකර සමඟ ඊයේ (13) සවස පොලිස්පතිවරයා විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මෙම පාතාල අපරාධකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හැර වෙන කිසිදු විමර්ශන කණ්ඩායමකට භාර නොදීමට ද මෙහිදී විශේෂ අවධානය යොමු වී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කළේය.

එහෙත් ඕනෑම විමර්ශන කණ්ඩායමකට සිය විමර්ශනයන්ට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කල්තියා ලබා ගන්නා අවසරයක් මත මෙම අපරාධකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. එහිදී එම ප්‍රශ්න කිරීමට අවස්ථාව ලැබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අධීක්ෂණය ඇතිව බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *