මෙරට වඩාත්ම ප්ලාස්ටික් දූෂණයට ලක් වූ ධීවර ජැටිය ලෙස සලකන ගුරුනගර් සහ දිවයිනේ උතුරු කෙළවර ලෙස සැලකෙන පේදුරු තුඩුව ආශ්‍රිත වෙරළ තීරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
මේ සඳහා ආයතන රැසක් සිය දායකත්වය දක්වන අතර හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී සමාගම සහ ක්ලීන් ඕෂන් ෆෝර්ස් සංවිධානය එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන සඳහා උතුරු පළාත් සභාව සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරීය සමග ක්ලීන් ඕෂන් ෆෝර්ස් සංවිධානය ත්‍රයිපාර්ශ්වීය ගිවිසුමක් ද අත්සන් කර තිබේ.
උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියට මධ්‍යම පරිසර අධිකාරිය, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසියේ පාරිසරික අංශය, උතුරු පළාත් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා පොලීසියේ සමුද්‍රීය හා සංචාරක අංශය සහ තවත් ස්වේච්ඡා සංවිධාන රාශියක්ද එක් වී සිටී.
උතුරු පළාතේ දිනපතා පිරිසිදු කිරීම් සිදුකරන අතරම එම පළාතේ ජලාශ වලට ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්වීම වැළැක්වීම සඳහා ජනතාව දැනුවත් කිරීම ක්ලීන් ඕෂන් ෆෝර්ස් සංවිධානයේ අරමුණ වන අතර, ඒ සඳහා ඔවුන් සමග අත්වැල් බැඳගත් ප්‍රථම පෞද්ගලික සමාගම වන්නේ හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී සමාගමයි. මෙහි පළමු අදියර යටතේ, යන්ත්‍රසූත්‍ර සහ මිනිස් ශ්‍රමය භාවිතා කරමින්, යාපනය කලපුවේ ජලය මතුපිට සහ පතුලෙහි රැඳී ඇති ප්ලාස්ටික් සහ අනෙකුත් අපද්‍රව්‍ය ඉවත් කිරීමට සැලසුම් කර තිබේ. මේ සඳහා ප්‍රදේශවාසී ජනතාවගේ සක්‍රීය දායකත්වය ලබාගැනෙන අතර, එමගින් යාපනය ප්‍රදේශය ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් තොර ප්‍රදේශයක් බවට පත්කරන අතරම ආදායමක් උපයා ගැනීමටද ප්‍රදේශවාසීන්ට අවස්ථාව ලැබෙනු ඇත.
යාපනය ප්‍රදේශයේ සංවර්ධන කටයුතු පුළුල් වෙමින් පවතින පසුබිමක් තුළ, ප්ලාස්ටික් නිසා ඇතිවන පරිසර දූෂණය මේ වනවිට දැඩි ලෙස ඉහළ ගොස් තිබේ. යාපනය අර්ධද්වීපයේ සාගර පරිසර පද්ධතිවල පැවැත්මට අතිශයින් වැදගත් ස්ථානයක් වන යාපනය කලපුවට මෙම ගැටලුව දරුණු ලෙස බලපා ඇත. එමෙන්ම ගුරුනගර්, පසයියූර් සහ කච්චායි වැනි ධීවර ජැටියන්ද මේ වනවිට විවිධ ප්ලාස්ටික් සහ පොලිතින් වර්ග නිසා දරුණු පරිසර දූෂණයකට ලක් වී තිබේ. මෙය ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යයට මෙන්ම, ප්‍රදේශයට ආවේණික ජීවීන් ඇතුළුව සාගර ජීවීන්ගේ පැවැත්මටද බරපතළ තර්ජනයක් එල්ල කර ඇත.


