‘හරක් කටා’ සහ ‘කුඩු සලිඳු’ ගෙන ඒමට විශේෂ පොලිස් කණ්ඩායමක් මැඩගස්කරයට

හරක් කටා’ හෙවත් නඳුන් චින්තක සහ ‘කුඩු සලිඳු’ හෙවත් සලිඳු මල්ෂිත ගුණරත්න ඇතුළු 8 දෙනෙක් මැඩගස්කරය ආරක්‍ෂක අංශවලට කොටු වූයේ ඉකුත් පළමු වන දා ය.

ඔවුන් මෙරටට රැගෙන ඒමට කෙරෙන විමර්ශන සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් හෙට (මාර්තු 11) මැඩගස්කරය බලා පිටත්වීමට නියමිත ය.

මෙම කණ්ඩායමට සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු, ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරු දෙදෙනෙකු ඇතුළත් බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ ය. මැඩගස්කරයට පිටත්ව යන පොලිස් කණ්ඩායමට ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලැබී තිබේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මිහිඳු අබේසිංහ මෙම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන බව කියැවේ.

අනෙක් සහකාර පොලිස් අධිකාරිවරයා පොලිස් විශේෂ කාර්ය බළකාය නියෝජනය කරනු ඇත.

‘හරක් කටා’ ඇතුළු කණ්ඩායම මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් බව ඉකුත් 8 වන දා නිල වශයෙන් එරට රජය විදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දී ඇත. ඒ අනුව ඒ පිළිබඳ විමර්ශනය කොට ඔවුන් මෙරටට ගෙන ඒමේ කටයුතු සඳහා මෙම විශේෂ පොලිස් කණ්ඩායම හෙට මැඩගස්කරය බලා පිටත්ව යාමට නියමිතව තිබිණි.

ඉකුත් පෙබරවාරි 12 වන දා හරක් කටා ඇතුළු පිරිස ‘නොයිබී’ ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ ඇති අතර ඔවුන් නැවත ඉකුත් පළමු වන දා මැඩගස්කරයෙන් පිටව යන මොහොතේදී එරට ආරක්‍ෂක අංශවලට කොටුවී ඇත.

මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ ‘හරක් කටා’ සහ ‘කුඩු සලිඳු’ අපරාධකරුවන්ට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය වෙත නිකුත් කර තිබූ රතු වරෙන්තු අනුව ය.

හරක් කටා සුපිරි ධනවතකු ලෙස පෙනී සිට ඇති අතර ඔවුන් මැඩගස්කරය බලා යාමට ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත්තේ සුඛෝපභෝගී මෝටර් රථ දෙකකින් ය.

මීට පෙර ද ‘හරක් කටා’ සහ ‘කුඩු සලිඳු’ ඩුබායි පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ 2022 අගෝස්තු 11 වන දා ය.

ඒ අනුව ‘හරක් කටා’ සහ ‘කුඩු සලිඳු’ මෙරටට ගෙන ඒමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ලකලෑස්ති වුව ද ඔවුන් මෙරටට පිටුවහල් කිරීමට අවශ්‍ය වූ නීතිමය කටයුතු නිසි ලෙස සම්පූර්ණ නොකිරීම නිසා ඩුබායි පොලිසිය හරක් කටාව ඉකුත් වසරේ ඔක්තෝබර් 3 වන දා මුදා හැර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *