ශ්‍රී ලංකා රුපියල 2023 වසර අවසන් වන විට නැවත පහත වැටීමට ලක්විය හැකි අතර ඩොලරයට සාපේක්ෂව එහි අගයෙන් හතරෙන් එකක් පමණ අහිමි විය හැකි බව ‘ෆිච් සොලූෂන්ස්’ උපුටා දක්වමින් ‘බ්ලූම්බර්ග්’ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
එම වෙබ් අඩවිය පුරෝකථනය කර ඇත්තේ, මෙම වසර අවසන් වන විට ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 390ක් දක්වා පහත වැටී 23%කින් පමණ දුර්වල වනු ඇති බව ය.
ඔවුන් සදහන් කරන්නේ IMF මූල්‍යාධාර ලැබීමේ බලාපොරොත්තු මධ්‍යයේ ශ්‍රී ලංකා රුපියල මෙම වසරේ ලොව ක්‍රියාකාරී ම මුදල් ඒකකය බවට පත් වූ බව ය.
“IMF වැඩසටහනට ඇති විය හැකි බාධා අපි දකිනවා,” ෆිච් සොලූෂන්ස්හි රටවල් පිළිබඳ අවදානම් විශ්ලේෂක ෂෙහ් වැන්ග් ටින්ග් ප්‍රකාශ කර ඇත.
“IMF වැඩසටහන සමග අඛණ්ඩව කටයුතු කිරීම සඳහා දැඩි ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට බලධාරීන් කැපවී සිටිය යුතුයි. ඒ දේ කරන එක දුර්වල වන ආර්ථිකයක් සහ ඉදිරියෙන් ඇති පළාත් පාලන මැතිවරණයත් එක්ක ඔවුන්ට දේශපාලනිකව අභියෝගාත්මක වෙන්න පුළුවන්.”
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද දිනයේ තවත් ශක්තිමක් වී තිබුණු අතර ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර තිබුණේ, ඩොලරයේ ගැණුම් මිල රුපියල් 307.36ක් සහ විකිණුම් මිල රුපියල් 325.52ක් වන බව ය.
ඒ, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහය දෙන බවට චීනය දුන් සහතිකයෙන් පසු මාර්තු 20 වන දා ඩොලර් බිලියන 2.9ක ණය මුදල ලබා දීම සම්බන්ධයෙන් තීරණය කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කිරීමෙන් පසුව බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කර ඇත.


