මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර තිබූ යෝජනාවට අනුව
මූල්‍ය අංශ අර්බුද කළමනාකරණ කමිටුව සහ මූල්‍ය අංශ අර්බුද කළමනාකරණය පිළිබඳ තාක්ෂණික කමිටුවක් පිහිටුවීමට ඊයේ (07) පැවැති කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිවී තිබේ.
බැංකු (විශේෂ විධිවිධාන) පනතට ඒ සඳහා අවශ්‍ය වන විධිවිධාන ඇතුළත් කිරීමටත් එහිදී එකඟතාවය ලැබී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් විශය භාර අමාත්‍යාංශය අතර මූල්‍ය අංශයේ අර්බුදයකට ඇති සූදානම හා කළමනාකරණය සම්බන්ධයෙන් මෙන්ම ඔවුන්ගේ භූමිකාවන් සම්බන්ධයෙන් ද සම්බන්ධීකරණය කිරීම සඳහා ඒ ඔස්සේ අවස්ථාව හිමිවනු ඇත.
රාජ්‍ය මූල්‍ය, ණය සහ ගෙවුම් ශේෂ ගැටලු හේතුවෙන් මූල්‍ය අංශය වෙත ඇති වන බලපෑම මත මූල්‍ය අර්බුදයක් ඇතිවීම වළක්වා ගැනීම සහ එවැනි මූල්‍ය අර්බුදයක් ඇති වුවහොත් එහි පිරිවැය අවම කිරීම ද මෙම පියවර ගැනීමේ අරමුණ වෙයි.
ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ තීරණාත්මක අර්බුද කළමනාකරණය සහ කාලෝචිත තීරණ ගැනීම අත්‍යවශ්‍ය බවද අදාළ කැබිනට් යෝජනාවේ දැක්වෙයි.


