“මැතිවරණයට බාධාවක් බව කියූ මුදල් ප්රශ්නය අවසන්, කොමිසම රැස් වී කඩිනමින් මැතිවරණයට දිනයක් දිය යුතු,” යැයි ජාතික ජන බලවේගයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය.
මැතිවරණ කටයුතු සඳහා වෙන් කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් ලබා දෙනු ලැබීම පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
ඒ අනුව ඉතා කඩිනමින් මැතිවරණ කොමිෂන් සභාව රැස්වී මීට දිනයක් ලබා දිය යුතු බව මන්ත්‍රීවරයා පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට මැතිවරණය සඳහා අය-වැයෙන් වෙන් කළ මුදල් රඳවා ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අතර ආණ්ඩුව මෙතෙක් මැතිවරණයට මුදල් නොදී සිටීමේ පිළිවෙත අවසන් වූ බව ත්, අධිකරණ තීන්දුව සමඟ ආණ්ඩුවට මැතිවරණය සඳහා මුදල් නිදහස් කිරීමට ඉන් සිදුවෙන බව ත් ඔහු පෙන්වා දුන්නේ ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විවිධ උපක්‍රම යොදමින් මැතිවරණය කල් දැමීමට කටයුතු කළ නමුත් ඔහුගේ එම මැතිවරණය කඩාකප්පල් කිරීමේ උත්සහයන් සම්පූර්ණයෙන් ව්‍යර්ථ වී ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.


