කොළඹ 10, අර්නෝල්ඩ් රත්නායක මාවතේ පිහිටි මහල් තුනකින් සමන්විත ගොඩනැගිලි තුනක ඇති නිවාස 36ක පදිංචිකරුවන් එම ගොඩනැගිලිවලින් ඉවත් කිරීම හේතුවෙන් තමන් අපහසුතා රැසකට මුහුණ පා ඇතැයි එම පිරිස සඳහන් කළහ.
මෙම සතියේදී පිස්කල් නියෝග මත බව පවසා එලෙස බඩු භාණ්ඩ ද සමග නිවෙස්වලින් ඉවත් කළ පවුල් රැසක් අදටත් සිටින්නේ මහමගය. 1960 වසරේ සිට එම නිවාසවල ජීවත් වූ මෙම පිරිසට වසර තුනක බදු පදනම යටතේ වෙනත් නිවාස ලබා දී ඇත්තේ මාලිගාවත්ත, තොටළඟ ප්‍රදේශයෙනි.
මෙම ගොඩනැගිලි පිහිටි අක්කරයක් පමණ වන භූමිය ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ අනුදැනුම මත ව්‍යාපාරිකයකුට බදු පදනම මත ගොඩනැගිල්ලක් ඉදිකරගැනීමට ලබාදීම උදෙසා මෙලෙස සම්පූර්ණ ඉඩමෙන් තමන් ඉවත් කර ඇතැයි එම ජනතාව චෝදනා කළහ.
නිවෙස් කිපයක වාසය කළ පවුල් කිහිපයක් තමන්ට ලබාදෙන බව කියූ නව නිවාසවල යතුරු ලබා ගැනීමට ගිය අවස්ථාවේදී කොළඹ මහ නගර සභාවේ නීති අංශයේ නිලධාරින් පවසා ඇත්තේ ඔවුන්ගේ ලිපිගොනු තමන්ට ලැබී නොමැති බවයි. තවද, අයිතිවාසිකම් සඳහා අධිකරණයේ නඩු පවරා ඇති හෙයින් අධිකරණයෙන් නිවාස ලබා ගන්නා ලෙසද ඔවුන්ට දැනුම් දී තිබේ.
නගර සභාවේ නීති අංශයට කැඳවා ගිවිසුම්වලට තමන්ගේ අත්සන් ලබා ගත්තේ ගිවිසුම කියවීමට පවා ඉඩ නොදී බව ද එම ජනතාව සඳහන් කළහ.
වසර කිහිපයකට පෙර නොරිස් ඇළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියකට අදාළව මෙම පිරිස ඉවත් කිරීමට සැලසුම් කර තිබුණද එම ව්‍යාපෘතිය මේ වන විට නවතා දමා තිබේ. එම ව්‍යාපෘතිය ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වූවකි. ඊට අදාළව සෑම පවුලකටම රුපියල් ලක්ෂ අසූවක් හෝ නිවසක් දීමට යෝජනා වී තිබී ඇත. එහෙත් ජනාධිපතිවරයාගේ සමීප මිතුරකු බව කියන පෙර කී ප්‍රාදේශීය දේශපාලනඥයා එයද නතර කර ඇතැයි එම ජනතාව චෝදනා කළෝය. මේ සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ නීති අංශය නිසි ලෙස කටයුතු නොකරන බවට ද මෙම ජනතාව චෝදනා කළහ.
එහි නීති අංශයේ නීති නිලධාරිනියක වන දිනූෂා ද සිල්වාගෙන් අප මේ පිළිබඳ විමසූ අවස්ථාවේදී ඇය අවේගශීලීව ප්‍රකාශ කළේ ‘‘අපි සියලුදෙනාට නිවාස ලබා දීලා තියෙනවා. පුළුවන් නම් මට කියන්න කාටද නිවාස දීලා නැත්තේ?’’ යනුවෙනි.


